QR ක්‍රමය නිසා යතුරු පැදි වලට සිදු වූ දේ..
සමස්ථ ලංකා යතුරු පැදිකරුවන්ගේ සංගමය විසින් විදුලි බල හා බලශක්ති අමාත්‍යංශ ලේකම්වරයා වෙත යොමු කරන ලද ලිපියක් මෙහි දැක්වෙයි.
ලේකම්,
විදුලිබල අමාත්‍යාංශය,
අංක 437,
ගාලු පාර,
කොළඹ.
ගරු ලේකම්තුමනි, ධනපතිවාදී ඉන්ධන කෝටා ක්‍රමයට අපගේ බලවත් විරෝධය ප්‍රකාශ කර සිටීම හා යෝජනා ඉදිරිපත් කිරීම පවතින ඉන්ධන අර්බුදය හමුවේ ජාතික ඉන්ධන කෝටා ක්‍රමය යටතේ යතුරුපැදි හා අනෙකුත් වාහන වලට සතිපතා නිකුත් කරන ඉන්ධන ප්‍රමාණයන් මේ වන විට අදාළ අමාත්‍යවරයා විසින් ප්‍රකාශයට පත් කර තිබේ.
එම අගයන්ට අනුව එම වාහනවලට “දළ වශයෙන්” සතියක කාලයක් සඳහා ගමන් ගත හැකි දුර වන්නේ • යතුරුපැදියකට කිලෝමීටර් 160ක් පමණ හා ත්‍රිරෝද රථයකට කිලෝමීටර 125 ක් පමණි.
• එසේ වුවද, අදාල කෝටාවෙන් මෝටර් කාර් රථයකට කිලෝමීටර් 300ක් පමණ ගමන්කර හැකිබවට නිරීක්ෂණය වේ.
විදේශ විනිමය අර්බුදය හමුවේ මෙවැනි බලශක්ති අර්බුදයකට රට පත්ව ඇති කාලසීමාවක, රජය ප්‍රතිපත්තියක් ලෙස ඉන්ධන කාර්යක්ෂමතාව වැඩි කාර් රථ වර්ග, යතුරුපැදි, ත්‍රීරෝද රථ ප්‍රවර්ධනය කිරීම වෙනුවට ඉන්ධන කාර්යක්ෂමතාව සාපේක්ෂව අඩුව පවතින මෝටර් කාර් රථ වර්ග පොදුවේ සලකා ඒවා වෙත වැඩිපුර ඉන්ධන ලබා දී ඒවා භාවිතාව ප්‍රවර්ධනය කිරීමට ප්‍රතිපත්තිමය වශයෙන් කටයුතු කිරීම සම්බන්ධයෙන් අපගේ බලවත් විරෝධය මින් ප්‍රකාශ කර සිටිමු.
• එවැනි “ප්‍රතිපත්තියක්” හරහා ජනතාව දෛනික භාවිතාව සඳහා ඉන්ධන කාර්යක්ෂමතාව සාපේක්ෂව අඩුව පවතින මෝටර් කාර් රථ වර්ග වෙත තල්ලු වීමක් සිදුවන අතර, ඉන් සිදුවන්නේ ඉන්ධන කාර්යක්ෂමතාව වැඩි යතුරුපැදි භාවිතාව අත්හැර දැමීම ය.
තවද, ඒ හරහා පෞද්ගලික ප්‍රවාහන අවශ්‍යතාවල දී අමතරකොටස් හා නඩත්තු කටයුතු සඳහා යන වියදම් ඉහළ යන අතර, එය රටේ ඩොලර් අර්බුදය තව තවත් උත්සන්න කිරීමට නිසැකව බලපානු ඇති බවට පෙන්වාදීමට කැමැත්තෙමු.
• නිශ්චිත කාලසීමාවක් තුල නිරාකරණය කර ගත නොහැකි බවක් පෙන්වන මෙම ගැටලුකාරී අර්බුද තත්ත්වය යම් ලෙසකින් නිරාකරණය කර ගැනීමට නම්, මෙම අසීරු අවස්ථාවේ දී රටක් ලෙස පෞද්ගලික වාහන භාවිතාවට යොදවන ඉන්ධන ඉල්ලුම පැහැදිලි ලෙස අඩු කර ගත යුතු අතර, එමෙන්ම පෞද්ගලික ප්‍රවාහන අවශ්‍යතා සඳහා නිකුත් කරන එකී ඉන්ධන වලින් උපරිම ප්‍රයෝජනය ද ගත යුතුව පවතී.
• ඒ සඳහා පෞද්ගලික ප්‍රවාහන අවශ්‍යතා ඉටු කර ගැනීමේදී ඉන්ධන කාර්යක්ෂමතාව වැඩි කාර් රථ, යතුරුපැදි, ත්‍රිරෝද රථ (මෝටර් වාහන) භාවිතාව ප්‍රවර්ධනය විය යුතුය, අනෙකුත් අකාර්යක්ෂම වාහන භාවිතාව අධෛර්යමත් කර යුතුය.
• තවද රජය මෙතෙක් ගෙන ඇති මෙම තීරණ තුලින් පෙනී යන්නේ රට පත්ව ඇති අවාසනාවන්ත අර්බුදයෙන් රට ගොඩ ගැනීමට වත්මන් රජයට, එහි පාර්ලිමේන්තුපතිවරයාට (ජනමතයක් නැතිව විකෘති වූ පාර්ලිමේන්තුවකින් පත් වූ ජනාධිපති), අගමැතිවරයාට, විෂය භාර ඇමතිවරයාට හා රජයේ නිලධාරීන්ට කිසිදු උවමනාවක් හෝ ප්‍රතිපත්තිමය වැඩපිළිවෙළක් නැති බවයි.
එමෙන්ම රටේ සැබෑ ආර්ථික තත්ත්වය තේරුම්ගත් පක්ෂ විපක්ෂ නායකත්වයක් ද නොමැති බවයි.
මේ අනුව රටේ පවතින වාතාවරණය යටතේ පොදු ප්‍රවාහන සේවාවල වැදගත් කම හා මෝටර් වාහනවල ආර්ථික බර, මෙන්ම ඒවායේ භාවිතා සලකා බලමින් අප යෝජනා කර සිටින්නේ
1. සෞඛ්‍ය, මාධ්‍ය, නීති, වාණිජ කටයුතු, පොදු ප්‍රවාහනය, භාණ්ඩ ප්‍රවාහනය හා [පෞද්ගලික වාහන භාවිතාව අධෛර්යමත් කරන විශේෂ භාණ්ඩ ප්‍රවාහන සේවා] සඳහා අවශ්‍ය ප්‍රමාණයට ඉන්ධන සැපයීමට රජය ප්‍රමුඛත්වය ගෙන කටයුතු කල යුතුය. එම වාහනවල ගමන් කරන ලද දුර ලඝු ගත කර යුතුය.
2. ත්‍රීරෝද රථ පොදු ප්‍රවාහනයේ කොටසක් ලෙස රජය නිල වශයෙන් පිළිගෙන කටයුතු කල යුතුය.
3. ඉතිරි ඉන්ධන ප්‍රමාණය කෝටාවට බෙදීමේදී වැඩිදුරක් පෞද්ගලික කටයුතු සඳහා භාවිතා කරන ඉන්ධන කාර්යක්ෂමතාව වැඩි (අ) යතුරුපැදි, (ආ) කාර් රථ වර්ග හා (ඇ) ත්‍රීරෝද රථ වලට ලැබෙන ප්‍රතිපත්තියක් මත පදනම්ව ජාතික ඉන්ධන කෝටා ක්‍රමය ක්‍රියාත්මක විය යුතුය.
4. පවුලේ අයගේ මරණයක්, රෝගී තත්ත්වයක්, රෝගී ප්‍රතිකාර අවශ්‍යතා වැනි හදිසි අවස්ථා සඳහා හා ආබාධිත හෝ රෝගී සංකුලතා ඇති පුද්ගලයන් බලාගන්නා අය වෙත ඒ ඒ අයගේ අවශ්‍ය ප්‍රමාණයට යම් මෝටර් වාහනයක් සඳහා ඉන්ධන කෝටා ලබාදීමේ ක්‍රමවේදයන් ස්ථාපනය කර තිබිය යුතුය. එය හදිස්සියකදී ලබාගත හැකි විය යුතුය.
එවැනි ක්‍රමවේද නොමැතිව ඉන්ධන කෝටා ක්‍රමය ක්‍රියාත්මක කිරීම මූලික මිනිස් අයිතිවාසිකම් කඩ කිරීමක් ලෙස පෙන්වා දෙන අතර, වත්මන් ඇමතිවරයා යටතේ එය එසේ සිදුවීම ගැන අප සංගමය මවිතයට පත් නොවේ.
5. විදේශීය මුදල් ඒකක මඟින් ඉන්ධන ලබාගැනීමේ හැකියාව පොදුවේ එසේ මිලදී ගැනීමට හැක සෑම පුරවැසියෙකුටම හිමිවිය යුතුය.
6. පෞද්ගලික වාහනවලට ඉන්ධන නිකුත් කිරීමේදී මෝටර් වාහන වර්ගය මත නොව ඒවායේ ඉන්ධන කාර්යක්ෂමතාව මත පදනම්ව, ඉන්ධන කාර්යක්ෂමතාව වැඩි වාහන භාවිතාව ප්‍රවර්ධනය වන ආකාරයෙන් ඒවාට ප්‍රමුඛත්වය දී කෝටාවන් ලබාදිය යුතුය.
7. ඉන්ධන කාර්යක්ෂමතාව අඩු වාහන සඳහා ඉන්ධන සීමා රහිතව නිකුත් කිරීමට නම් ඊට අවශ්‍ය වන විදේශීය මුදල් එම හිමිකරුවන්ගෙන් පෙර ගෙවීමේ පදනම මත ඉල්ලා සිටි යුතුය.
8. ඉහතකී ප්‍රතිපත්තියන් දේශපාලන අධිකාරිය, ආරක්ෂක අංශ ඇතුළු සමස්ත රාජ්‍ය සේවයේ පෞද්ගලික ගමන් බිමන් සිදුකරන වාහනවලට ද ප්‍රායෝගික මට්ටමින් ක්‍රියාත්මක විය යුතුය.
9. දේශපාලන අධිකාරිය, ආරක්ෂක අංශ ඇතුළු සමස්ත රාජ්‍ය සේවයේ සියලුම ගමන් බිමන් සිදුකරන වාහනවල ඉන්ධන භාවිතාව, අමතර කොටස් භාවිතාව, නඩත්තු වියදම්, ගමන් කර ඇති දුර, දැඩි විගණනයට ලක්විය යුතුය.
10. ඉන්ධන කාර්යක්ෂමතාව අඩු මෝටර් වාහන භාවිතාව අධෛර්යමත් කිරීමේ වැඩපිළිවෙළවල් තාවකාලික පිවරක් විය යුතුය.
11. ආර්ථික අර්බුදය විසඳෙන තුරු ජාතික ප්‍රතිපත්තියක් ලෙස ඉන්ධන ලීටර් එකකට උදාහරණයක් ලෙස කිලෝමීටර් 15 කට අඩු ඉන්ධන කාර්යක්ෂමතාවක් ඇති පෞද්ගලික භාවිතාව සඳහා වූ මෝටර් වාහන ආනයනය පමණක් තහනම් කර යුතුය.
12. ඉන්ධන කාර්යක්ෂමතාව අඩු මෝටර් වාහන නැවත ප්‍රති-අපනයනය කිරීමට හා ඒ වෙනුවට ඉන්ධන කාර්යක්ෂමතාව වැඩි මෝටර් වාහනයක් බදු රහිතව ගෙන්වීමට ඉඩ දීම වැනි ක්‍රමවේදයන් ද, පහසුකම් ද ක්‍රියාත්මක කල යුතුය.
13. රටේ ඉන්ධන භාවිතය අඩු කර ගැනීම සඳහා මුලුතැන්ගේ කටයුතු සඳහා ගෑස් භාවිතාව ප්‍රවර්ධන කල යුතු අතර, එහි හිඟය සම්පුර්ණයෙන් ඉවත් කර, විදුලියෙන් පිසීම අවම කරන ලෙස ඉල්ලීම් සිදු කර යුතුය.
ඒ හරහා විදුලි ඉල්ලුම අඩු වීමත් සමග විදුලි කප්පාදු අවම කරමින්, ඉන්ධන කාර්යක්ෂමතාව අඩු කුඩා විදුලි ජනන යන්ත්‍ර භාවිතාව හරහා සිදුවන ඉන්ධන නාස්තිය ද අවම කරගත හැකි බවට අපි විශ්වාස කරමු.
14. විදුලි ජනන යන්ත්‍ර සඳහා ඉන්ධන ලබාදීමට විදිමත් ක්‍රමවේදයක් තිබිය යුතුය, ඒසේ නොතිබීම නිසා ඇතිවූ ඉන්ධන කළු කඩය ඒ හරහා නිෂ්ක්‍රිය කල හැක.
15. රටේ පවතින තත්ත්වය සලකා බලමින්, කොන්දේසි හා සුදුසුකම්වලට යටත්ව යතුරුපැදිවලට අධිවේගී මාර්ග භාවිතාවට ඉඩදීමට කටයුතු කල යුතුය.
16. ණය වාරික ගෙවා ගැනීමට නොහැකිවීම හේතුවෙන් අත්පත් කර ගන්නා මෝටර් වාහන නැවත ප්‍රති-අපනයනය කිරීමට අවශ්‍ය ප්‍රතිපත්තිමය තීරණය ගත යුතුය.
අපගේ උක්ත ප්‍රතිපත්තිමය යෝජනා රජය විසින් ඉදිරි දින 7 තුල ක්‍රියාත්මක නොකර, ප්‍රතිපත්තිමය වශයෙන් නොසලකා හරින්නේ නම්, රටේ පොදු ජනතාවගේ උන්නතිය උදෙසා ඒවා ක්‍රියාත්මක කරවීමට නීතිමය කටයුතු ආරම්භ කිරීමට හා විරෝධතා සංවිධානය කිරීමට අමතරව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව ඇතුළු අනෙකුත් සෙසු ආයතන හා රටවල් වලට ශ්‍රී ලංකා රජයේ මෙම අත්තනෝමතික හා අමු මෝඩ ප්‍රතිපත්තිමය තීන්දු තීරණ සම්බන්ධයෙන් දැනුවත් කිරීමට ද අප සංගමය කටයුතු කරනු ඇත.
මන්ද, රටකට ණය ලබාගැනීමට එම රට තුල අර්බුදයෙන් ගොඩ ඒමට අවශ්‍ය ප්‍රතිපත්ති තිබීම අනිවාර්ය බව රජයට අපි සිහිපත් කර සිටිමු. කඩා වැටෙන ආර්ථිකයක් තුල රාජ්‍ය ප්‍රතිපත්තියක් ලෙස දැනට පවතින ඉන්ධන කෝටා ක්‍රමවේදය තුලින් මෙලෙස ධනපතිවාදය ආරක්ෂා කිරීමට යෑම ලැජ්ජා සහගත ක්‍රියාවක් ලෙස අපි දකිමු.
තවද, අරගලයේ සිටින අප වැනි ක්‍රියාකාරී සංවිධාන සම්බන්ධ කර ගෙන රට ගොඩ ගැනීමට රජය කටයුතු කරනවා වෙනුවට, අරගලයේ සිටි පටු දේශපාලනික මතවාදයන් දරන පිරිසක් සමඟ පමණක් සම්බන්ධ කම් පවත්වමින්, අරගලය මර්ධනයට ලක් කරමින් රට තුල අර්බුදය උත්සන්න කර ගැනීමට ගන්නා උත්සාහයන් අපි දැඩි ලෙස හෙළාදකිමු.
මෙයට විශ්වාසී,
චිරන්ත අමරසිංහ,
සභාපති
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... |