ඉරානය කරපු ලෝක අපරාධය නිසා මුළු කටාරයම කණගාටුවෙන් - අනපේක්ෂිත තත්ත්වයක් ප්‍රකාශ කරයි
ඉරානය එල්ල කළ ප්‍රහාර නිසා කටාර් රාජ්‍යයේ සමස්ත ද්‍රව ස්වභාවික වායු (LNG) අපනයන ධාරිතාවෙන් 17%කට දැඩි හානි සිදුව ඇති බව කටාර් එනර්ජි (QatarEnergy) සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සාද් අල්-කාබි ප්‍රකාශ කරයි.
ඒ අනුව මෙම හානි වූ මධ්‍යස්ථාන යථා තත්ත්වයට පත් කිරීම වෙනුවෙන් වසර තුනක් හෝ පහක් අතර කාලයක් ගතවනු ඇති බව ඔහු රොයිටර් පුවත් සේවයට පැවසූ බව වාර්තා වේ.
මේ අතර අල්-කාබි මෙහිදී දැඩි කණගාටුවෙන් යුතුව පවසා ඇත්තේ ශුද්ධ වූ රාමසාන් මාසය තුළ මුස්ලිම් සහෝදර රටක් වන ඉරානයෙන් මෙවැනි ප්‍රහාරයක් කටාර් රාජ්‍යයට හෝ කලාපයට එල්ල වනු ඇතැයි තමන් කිසිසේත් අපේක්ෂා නොකළ බවයි.
එසේම ප්‍රහාරයෙන් හානියට පත් වූ නිෂ්පාදන ඒකක (Trains) දෙක හේතුවෙන් ඉතාලිය, බෙල්ජියම, දකුණු කොරියාව සහ චීනය වැනි රටවල් සමඟ ඇති කරගෙන තිබූ දිගුකාලීන LNG සැපයුම් ගිවිසුම් සම්බන්ධයෙන් 'අනපේක්ෂිත අවස්ථා' (Force Majeure) තත්ත්වයක් ප්‍රකාශ කිරීමට කටාර් එනර්ජි සමාගමට සිදුවනු ඇති බව ද වාර්තා වේ.
කෙසේ වුවත් කෙටිකාලීන ලෙස දැනටමත් මෙම තත්ත්වය ප්‍රකාශ කර ඇති අතර, හානියේ ස්වභාවය අනුව එය ඉදිරි වසර පහ දක්වා දීර්ඝ විය හැකි බව එම මාධ්‍ය වාර්තාවේ දැක්වේ.