ලොව පුරා තරුණියන් බිහිසුණු සෞඛ්‍ය අවදානමක- වයස 20-29 අතර කාන්තාවන් අතර දියවැඩියාව ශීඝ්‍රයෙන් ඉහළට
එංගලන්තයේ වයස අවුරුදු 20ට වැඩි කාන්තාවන් අතර දෙවන වර්ගයේ දියවැඩියාව සැලකිය යුතු ලෙස ඉහළ යමින් පවතින බව නව අධ්‍යයනයකින් අනාවරණය වී තිබේ.
මෙම ප්‍රවණතාව COVID-19 වසංගතයෙන් පසු තරබාරුකම ඉහළ යාම සමඟ සම්බන්ධ විය හැකි බව පර්යේෂකයෝ පෙන්වා දෙති.
ලන්ඩනයේ ඉම්පීරියල් කොලේජ් පර්යේෂකයන් 2011 සිට 2024 දක්වා NHS දත්ත විශ්ලේෂණය කරමින් සිදු කළ මෙම අධ්‍යයනයෙන් හෙළි වී ඇත්තේ වැඩිහිටි වයස් කාණ්ඩවල නව රෝග විනිශ්චයන් සුළු වශයෙන් අඩු වුවද, වයස අවුරුදු 40ට අඩු පුද්ගලයන් අතර, විශේෂයෙන් අවුරුදු 20ත් 29ත් අතර කාන්තාවන් අතර රෝගීන්ගේ සංඛ්‍යාව වේගයෙන් ඉහළ ගොස් ඇති බවයි.
NHS ඇස්තමේන්තු අනුව, වයස අවුරුදු 30ට අඩු පුද්ගලයන් 12,000කට ආසන්න පිරිසක් මේ වන විට දෙවන වර්ගයේ දියවැඩියාවෙන් පෙළෙන අතර, එම පිරිසෙන් වැඩිවන ප්‍රතිශතයක් කාන්තාවන් බව ද සඳහන් වේ.
රෝගය හඳුනා ගන්නා අවස්ථාවේදී තරුණයන්ගේ ශරීර ස්කන්ධ දර්ශකය (BMI) පෙරට වඩා ඉහළ මට්ටමක පවතින බවත්, තරබාරුකම ඉහළ යාම මෙම ප්රවණතාවට ප්‍රධාන හේතුවක් බවත් පර්යේෂකයෝ පවසති.
මෙම අධ්‍යයනයේ ප්‍රධාන පර්යේෂක වෛද්‍ය ශිවානි මිශ්රා සඳහන් කළේ, තරුණ වියේදී ඇතිවන දැඩි තරබාරුකම දෙවන වර්ගයේ දියවැඩියාව වැළඳීමේ අවදානම ඉහළ නංවන අතර, එවැනි රෝගීන්ට දිගුකාලීන සෞඛ්‍ය සංකූලතා ඇතිවීමේ අවදානමද වැඩි බවයි.
මෙතෙක් මෙම අවදානම වාර්ගික සුළුතර ප්‍රජාවන් අතර වැඩි වශයෙන් දක්නට ලැබුණද, මේ වන විට එය සුදු ජාතික ජනගහනය තුළද ඉහළ යමින් පවතින බව ඇය පෙන්වා දුන්නාය.
මේ අතර, Diabetes UK සංවිධානය අනතුරු අඟවන්නේ තරුණ වියේදී දෙවන වර්ගයේ දියවැඩියාව වැළඳීම හෘදයාබාධ, ආඝාතය සහ වකුගඩු ඇතුළු අවයවවලට හානි වැනි බරපතළ සංකූලතා ඇතිවීමේ අවදානම වැඩි කරන බවයි.
රටම කළඹමින් මිය ගිය කපිල චන්ද්‍රසේනගේ අභිරහස් මරණය- ජංගම දුරකථන විමර්ශන ප්‍රගතිය ගැන කොටුව මහේස්ත්‍රාත්වරයාගෙන් අතෘප්තිය
මුල් අවධියේදීම රෝගය හඳුනා ගැනීම, සෞඛ්‍ය සම්පන්න ආහාර රටාවක් අනුගමනය කිරීම, බර පාලනය කර ගැනීම සහ අවශ්‍ය අවස්ථාවල GLP-1 කාණ්ඩයේ ඖෂධ ඇතුළු නව ප්‍රතිකාර ලබා ගැනීම මඟින් අවදානම අවම කර ගත හැකි බවද පර්යේෂකයෝ පෙන්වා දෙති.
දෙවන වර්ගයේ දියවැඩියාවේ ප්‍රධාන රෝග ලක්ෂණ ලෙස අධික පිපාසය, නිතර මුත්‍රා කිරීම සහ දිගුකාලීන වෙහෙස සඳහන් වේ.