‘කැරපොත්තු ජනතා පක්ෂ’ විරෝධතා උණුසුම් වෙද්දී මෝදි රජයට දැඩි පීඩනයක් එල්ලවෙයි

Report

 ඉන්දියාවේ අගනුවර වන නවදිල්ලියේ ක්‍රියාත්මක වන ‘කැරපොත්තු ජනතා පක්ෂය’ (Cockroach Janta Party – CJP) නියෝජනය කරන විරෝධතාකරුවන්ගේ උද්ඝෝෂණ තවදුරටත් උත්සන්න වීමත් සමඟ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ රජය දැඩි දේශපාලන පීඩනයකට මුහුණ දී සිටී.

අධික වැසි තත්ත්වයන් මධ්‍යයේ වුවද, CJP ආධාරකරුවන් දහස් ගණනක් නවදිල්ලියේ සිය විරෝධතා අඛණ්ඩව පවත්වාගෙන යමින් සිටින අතර, ඔවුන්ගේ ප්‍රධාන ඉල්ලීම් වන්නේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ සහ අධ්‍යාපන අමාත්‍ය ධර්මේන්ද්‍ර ප්‍රධාන් මහතාගේ ඉල්ලා අස්වීමයි.

තරුණයන් මූලික කරගත් මෙම ව්‍යාපාරයට අඟහරුවාදා නව ශක්තියක් ලැබුණේ ඉන්දීය ප්‍රධාන විපක්ෂය වන කොංග්‍රස් පක්ෂයේ නායකයන් අග්‍රාමාත්‍යවරයාගේ නිවස ඉදිරිපිට විරෝධතාවකට එක්වීමත් සමඟය.

කැරපොතු පක්ෂය් විරෝධතාවයට දිල්ලියේදි - පොලිසිය බැටන් සහ ජල ප්‍රහාර වලින් උත්තර දුන්න හැටි මෙන්න

කැරපොතු පක්ෂය් විරෝධතාවයට දිල්ලියේදි - පොලිසිය බැටන් සහ ජල ප්‍රහාර වලින් උත්තර දුන්න හැටි මෙන්න

එම විරෝධතාව පැවැත්වුණේ සඳුදා CJP විරෝධතාවට පොලිසිය එල්ල කළ දැඩි මර්දනයට විරෝධය පළ කරමිනි.

එහිදී විරෝධතාකරුවන් සහ පොලිස් නිලධාරීන් ඇතුළු දස දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබා තිබුණි. කොංග්‍රස් පක්ෂය විසින් නිකුත් කළ වීඩියෝවල දැක්වෙන්නේ එහි මන්ත්‍රී රාහුල් ගාන්ධි ඇතුළු පිරිසක් පොලිස් නිලධාරීන් විසින් බස් රථවලට රැගෙන ගොස් රඳවා තැබූ ආකාරයයි.

පසුව ඔවුන් මුදා හැර තිබේ. සඳුදා CJP සංවිධානය කළ පාර්ලිමේන්තුව වෙත පාගමනක් අතරතුර මධ්‍යම නවදිල්ලියට දස දහස් ගණනක් විරෝධතාකරුවන් එක්වූ අතර, ඔවුන් විසුරුවා හැරීම සඳහා පොලිසිය බැටන් ප්‍රහාර සහ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළ බව වාර්තා වේ.

එහිදී පුද්ගලයන් 60කට අධික පිරිසක් තුවාල ලබා ඇත. විරෝධතාවයේ ප්‍රධාන කේන්ද්‍රස්ථානය වූ වසර 300කට අධික ඉතිහාසයක් ඇති නිරීක්ෂණාගාරයක් අසල පිහිටි ජන්තර මන්තර ප්‍රදේශයේ ඉදිකර තිබූ වේදිකාව සහ තාවකාලික කූඩාරම්ද පොලිසිය ඉවත් කර තිබේ.

එහෙත් විරෝධතාකරුවන් එම ස්ථානයෙන් ඉවත්ව නොගොස් පැය 24 පුරාම විරෝධතාව පවත්වාගෙන යමින් සිටී.

ප්‍රචණ්ඩ සිදුවීම්වලින් පසු එම ස්ථානයට හිටපු දිල්ලි මහ ඇමති අර්වින්ද් කෙජ්රිවාල් සහ ප්‍රවීණ දේශපාලනඥ ශරද් පවාර් ඇතුළු විපක්ෂ නායකයන් කිහිපදෙනෙකු පැමිණ තිබේ.

අඟහරුවාදා කොංග්‍රස් පක්ෂ නායක මල්ලිකාර්ජුන් කාර්ගේ සහ රාහුල් ගාන්ධිගේ ප්‍රධානත්වයෙන් අග්‍රාමාත්‍ය මෝදිගේ නිවස වෙත විරෝධතා පාගමනක් පැවැත්විණි.

එහිදී අධ්‍යාපන අමාත්‍ය ධර්මේන්ද්‍ර ප්‍රධාන්, අභ්‍යන්තර කටයුතු අමාත්‍ය අමිත් ෂා සහ අග්‍රාමාත්‍ය මෝදිගේ ඉල්ලා අස්වීම් ඉල්ලා සිටියහ. රාහුල් ගාන්ධි සඳහන් කළේ, සිදුවූ පොලිස් මර්දනය සම්බන්ධයෙන් රජය සිසුන්ගෙන් සමාව ඉල්ලා සිටිය යුතු බවයි.

පාර්ලිමේන්තුව තුළ මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අවස්ථාව ලබා නොදීම හේතුවෙන් අග්‍රාමාත්‍යවරයාගේ නිවස ඉදිරිපිට විරෝධතාව පැවැත්වූ බවද ඔහු පැවසීය. කෙසේ වෙතත්, මධ්‍යම රජයේ අමාත්‍ය ජිතේන්ද්‍ර සිං එම චෝදනා ප්‍රතික්ෂේප කරමින් සඳහන් කළේ, රජය සාකච්ඡාවකට එකඟ වී තිබූ බවත්, පසුව රාහුල් ගාන්ධි විසින් අමාත්‍ය ධර්මේන්ද්‍ර ප්‍රධාන්ගේ ඉල්ලා අස්වීමද ඉල්ලා සිටි බවත්ය.

මේ අතර, සඳුදා සිදුවූ ගැටුම් සම්බන්ධයෙන් පළමු වරට අදහස් දක්වමින් අමාත්‍ය ධර්මේන්ද්‍ර ප්‍රධාන් කොංග්‍රස් පක්ෂයට චෝදනා කර ඇත්තේ සිසුන් දේශපාලන අරමුණු සඳහා භාවිත කරන බවයි.

ඔහු සඳහන් කළේ, සිසුන්ගේ ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට රජය සූදානම්ව සිටියද, කොංග්‍රසය ප්‍රජාතන්ත්‍රවාදී සංවාදයකට වඩා දේශපාලන ප්‍රදර්ශනයක් තෝරාගෙන ඇති බවයි.

CJP යනු ලියාපදිංචි දේශපාලන පක්ෂයක් නොවන නමුත්, රට පුරා තරුණයන් සහ ජනතාව එක්රැස් කිරීමට සමත් වූ ව්‍යාපාරයක් බවට පත්ව තිබේ. මෙම ව්‍යාපාරය ආරම්භ වූයේ ඉන්දියාවේ හිටපු අගවිනිසුරුවරයෙකු විසින් රැකියා විරහිත තරුණයන් සම්බන්ධයෙන් "කැරපොත්තන්" යන වචනය භාවිත කළ බවට ඇති වූ ආන්දෝලනයකින් පසුවය.

පසුව ඔහු පැවසුවේ තම අදහස වූයේ ව්‍යාජ උපාධි ඇති පුද්ගලයන් පමණක් බවයි. ජන්තර මන්තර ප්‍රදේශයේ මාසයකට ආසන්න කාලයක් විරෝධතාවයේ නිරතව සිටින පිරිසට ජූනි 28 වැනිදා ක්‍රියාකාරිකයෙකු සහ අධ්‍යාපනවේදියෙකු වන සෝනම් වන්ග්චුක් එක්වීමෙන් මෙම ව්‍යාපාරයට ජාත්‍යන්තර අවධානයක්ද හිමි විය.

ඔහු පසුගිය සෙනසුරාදා පොලිසිය විසින් බලහත්කාරයෙන් ඉවත් කර රෝහලකට රැගෙන ගොස් ඇති අතර, එහිදීද උපවාසය අඛණ්ඩව පවත්වාගෙන යන බව වාර්තා වේ.

මෝදි රජයට එරෙහි මෑත කාලීන ප්‍රබලම මහජන විරෝධතා ව්‍යාපාරයක් ලෙස මෙම ව්‍යාපාරය මේ වනවිට පුළුල් වෙමින් පවතින අතර, මුම්බායි, හයිද්‍රාබාද්, බැංගලෝර් සහ අහමදාබාද් ඇතුළු ප්‍රධාන නගර කිහිපයකද විරෝධතා පැවැත්වී තිබේ.

දුම් නැති දුම්රිය යුගයකට ඉන්දියාව සැරසෙයි - පළමු හයිඩ්‍රජන් දුම්රිය ධාවනයට සියල්ල සූදානම්

දුම් නැති දුම්රිය යුගයකට ඉන්දියාව සැරසෙයි - පළමු හයිඩ්‍රජන් දුම්රිය ධාවනයට සියල්ල සූදානම්