“රෝද මත බලකොටුවක්'' - ලෝකය මවිත කළ පුටින්ගේ බෝම්බ සහ වෙඩි නොවදින සන්නද්ධ රථයත් ඉන්දියාවට
රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් 18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා නවදිල්ලියට පැමිණ ඇති අතර, ඔහුගේ විශේෂ ආරක්ෂක රථ පෙළ සමඟ ඔහු භාවිත කරන සන්නද්ධ Aurus Senat මෝටර් රථයද ඉන්දියාවට රැගෙනවිත් තිබේ.
ලොව දැඩිම ආරක්ෂාවක් සහිත රාජ්‍ය නායකයන් අතර සිටින පුටින් විදෙස් සංචාරවලදී පවා තමන්ගේම මෝටර් රථය භාවිත කිරීම විශේෂත්වයකි. ඔහුගේ Aurus Senat රථය වෙඩි ප්‍රහාරවලට සහ පිපිරීම්වලට ඔරොත්තු දෙන ලෙස සන්නද්ධ කර ඇති අතර, එය රෝද මත ඇති බලකොටුවක් ලෙසද හැඳින්වේ.
මෙම මෝටර් රථය 2018 වසරේදී හඳුන්වා දී ඇති අතර, රජයේ භාවිතය සඳහා සුඛෝපභෝගී සහ සන්නද්ධ මෝටර් රථ නිෂ්පාදනය කිරීමේ රුසියානු ‘Kortezh’ ව්‍යාපෘතියේ කොටසක් ලෙස නිපදවා තිබේ.
එහි සැලසුම සෝවියට් යුගයේ ZIS-110 ලිමොසීන් රථයෙන් ආභාෂය ලබා ඇත. පුටින්ගේ සාමාන්‍ය රථ පෙළට මෝටර් රථ දුසිම් දෙකකට ආසන්න සංඛ්‍යාවක් ඇතුළත් වන නමුත්, විදෙස් සංචාරවලදී ඔහු භාවිත කරන්නේ විශේෂයෙන් සන්නද්ධ කරන ලද Aurus Senat රථයයි.
Aurus Senat මෝටර් රථය රුසියානු රාජ්‍ය පර්යේෂණ ආයතනයක් වන NAMI, Sollers JSC සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ Tawazun Holding සමාගම එක්ව ක්‍රියාත්මක කරන Aurus Motors සමාගමේ නිෂ්පාදනයකි.
මෙම මෝටර් රථයේ සිවිල් භාවිතය සඳහා වන අනුවාදයක්ද නිෂ්පාදනය කෙරෙන අතර, වසරකට එවැනි මෝටර් රථ 120ක් පමණක් නිෂ්පාදනය කෙරේ. එහි මිල රුසියානු රූබල් මිලියන 18ක් පමණ වන අතර, එය ශ්‍රී ලංකා මුදලින් නොව ඉන්දීය මුදලින් ආසන්න වශයෙන් ඉන්දීය රුපියල් කෝටි 2.5කට සමාන වේ.
Aurus Senat රථයේ විශේෂතා
පුටින්ගේ Aurus Senat රථය ලීටර් 4.4ක twin-turbocharged V8 එන්ජිමකින් සහ hybrid පද්ධතියකින් සමන්විතය. එය අශ්වබල 598ක පමණ බලයක් සහ නිව්ටන් මීටර් 880ක ව්‍යවර්ථයක් නිපදවයි.
මෝටර් රථය 9-speed ස්වයංක්‍රීය ගියර් පද්ධතියකින් සමන්විත වේ. එහි දිග මිලිමීටර් 5,630ක්, පළල මිලිමීටර් 2,000ක් සහ උස මිලිමීටර් 1,700ක් වන අතර, රෝද අතර දුර මිලිමීටර් 3,300කි.
එහි උපරිම වේගය පැයට කිලෝමීටර් 160ක් පමණ වන අතර, පැයට කිලෝමීටර් 100ක වේගයක් ලබාගැනීමට තත්පර 9ක් පමණ ගත වේ. ජනාධිපති ආරක්ෂක රථ පෙළ සඳහා අවශ්‍ය ඉහළම ආරක්ෂක ප්‍රමිතීන්ට අනුකූල වන පරිදි මෙම මෝටර් රථය දැඩි ලෙස සන්නද්ධ කර තිබේ.
එහි active cruise control, lane departure warning, electronic traction control සහ නවීන braking systems වැනි ආරක්ෂක පහසුකම්ද ඇතුළත්ය.
මෝටර් රථයේ අභ්‍යන්තරයද ඉහළ මට්ටමේ සුඛෝපභෝගී පහසුකම්වලින් සමන්විත වන අතර, උසස් තත්ත්වයේ සම් ආසන, දැව නිමාව සහ නවීන infotainment පද්ධති ඇතුළත් වේ.
එමෙන්ම අතිශය දුෂ්කර දේශගුණික තත්ත්වයන් යටතේ වුවද ධාවනය කළ හැකි ආකාරයට මෙම මෝටර් රථය නිර්මාණය කර තිබේ.