පුංචි ඡන්දය ගැන ශ්‍රේෂ්ඨාධිකරණය දුන් විශේෂ තීරණය කථානායක දැනුම්දෙයි....

By Aruna Feb 14, 2025 05:12 AM GMT
Report

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවත් ඒ සඳහා පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයක් අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණය පාර්ලිමේන්තුවට දැනුම් දී අද දැනුම්දෙනු ලැබුවා.

ඒ අනුව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා විසින් ඒ බව පාර්ලිමේන්තුවට දැනුම් දෙනු ලැබීය.

එහි දී කථානායකවරයා පාර්ලිමේන්තුවට අදාළ නිවේදනය දැනුම් දුන්නේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) වන ව්‍යවස්ථාව ප්‍රකාරව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කර ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ විභාග කරන ලද “පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (විශේෂ විධිවිධාන)” නමැති පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය මා වෙත ලැබී ඇති බව පාර්ලිමේන්තුවට නිවේදනය කිරීමට කැමැත්තෙමි.

ඒ අනුව විනිසුරු මඩුල්ලේ බහුතරය සමන්විත වන විනිසුරුවරුන් දෙදෙනකු විසින් තීන්දු කර තිබුණේ:-

පනත් කෙටුම්පත සමස්තයක් ලෙස සහ විශේෂයෙන් කියවිය යුතු 2 සහ 3 වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) ව්‍යවස්ථාව සමඟ අනනුකූල වන බැවින් එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 84 ව්‍යවස්ථාවේ (2) ඡේදයට අනුව විශේෂ බහුතර ඡන්දයෙන් පමණක් සම්මත කිරීම අවශ්‍ය වන බවයි.

විනිසුරු මඩුල්ලේ ඉතිරි විනිසුරුවරයා තීන්දු කර තිබුණේ:-

මෙම පනත් කෙටුම්පත සමස්තයක් ලෙස හෝ එහි යම් විධිවිධානයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධානවලට අනනුකූල නොවන බැවින් එය පාර්ලිමේන්තුවේ සරල බහුතර ඡන්දයකින් සම්මත කළ හැකි බවයි.

ශ්‍රේෂ්ඨාධිකරණයේ සම්පූර්ණ තීරණය අද දින කාර්ය සටහන් දැක්වෙන නිල වාර්තාවේ මුද්‍රණය කළ යුතු යැයි මම නියෝග කරමි." යනුවෙන්.