භාණ්ඩාගාරය හිස් වෙද්දී තැපැල් දෙපාර්තමේන්තුව ගෙවූ ඩොලර් ලක්ෂ 6කුත් අතුරුදන්
අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා මහා භාණ්ඩාගාරයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් අස්ථානගත වීමේ පුවතත් සමඟම, තැපැල් දෙපාර්තමේන්තුව විසින් සිදුකළ තවත් විශාල විදෙස් ගෙවීමක් අදාළ පාර්ශ්ව වෙත ලැබී නොමැති බවට කැබිනට් ප්‍රකාශක තීරණාත්මක හෙළිදරව්වක් සිදු කළේය.
අද පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව විසින් 'US Post' ආයතනය වෙත යොමු කළ අමෙරිකානු ඩොලර් ලක්ෂ 6ක මුදලක් (ඩොලර් 600,000) මෙලෙස අතුරුදන් වී ඇති බවයි.
මහා භාණ්ඩාගාරයේ මූල්‍ය ගනුදෙනු පිළිබඳ පැහැදිලි කරමින් සිටින අතරතුර අමාත්‍යවරයා මෙම කරුණ අනාවරණය කළ අතර, මෙය හුදෙක් තාක්ෂණික දෝෂයක්ද නැතහොත් සංවිධානාත්මක මූල්‍ය වංචාවක්ද යන්න පිළිබඳව සැක මතු වී තිබේ.
අදාළ මුදල අතුරුදන් වීම සම්බන්ධයෙන් මේ වන විටත් විධිමත් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවත්, මෙවැනි මූල්‍ය අක්‍රමිකතා පිටුපස සිටින පාර්ශ්ව හඳුනා ගැනීමට රජය දැඩි පියවර ගන්නා බවත් අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළේය.
රජයේ ප්‍රධාන මූල්‍ය ගලායාම් මෙලෙස අඩපණ වීම සයිබර් ආරක්ෂාව සහ රාජ්‍ය මූල්‍ය පද්ධතියේ විශ්වාසනීයත්වය පිළිබඳව දැඩි සංවාදයක් නිර්මාණය කර ඇත.
මාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කළේ,
"ආයතනවල සිදුවන එවැනි අක්‍රමිකතාවයන් හෝ දෝෂයන් සම්බන්ධව ආයතන මට්ටමින් කටයුතු කරගෙන යනවා. මුදල් අමාත්‍යාංශයත් එම කටයුත්තට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළා. ඔය නිලධාරීන් සම්බන්ධයෙන් සම්බන්ධයෙන් අභ්‍යන්තර පරීක්ෂණයක් කිරීමට පෙරාතුවම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හැටියට පැමිණිලි කරලා යම් ක්‍රියාමාර්ග ප්‍රමාණයක් අරගෙන තිබෙනවා. ඒවා සියල්ලම කැබිනට් මණ්ඩල තුළ සාකච්ඡා වෙන්නේ නෑ. ඕනේ නම් මම තව එකක් කියන්නම් ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව හැටියට US පෝස්ට් එකට ගෙවපු ඩොලර් ලක්ෂ 6ක් පිළිබඳව පරීක්ෂණයක් පැවැත්වෙනවා. ඒවා ආයතන මට්ටමින් සිදුකරගත යුතු දේවල්. ඒක කෙසේද සිදුවුණේ කියලා පරීක්ෂණයක් කරගෙන යනවා මේකෙදි වෙලා තිබෙන්නේ US පෝස්ට් වෙත ගෙවීමට තිබූ ඩොලර් හයලක්ෂ විසිපන්දහසක් නොලැබීම සම්බන්ධයෙන් US Post එක පැත්තෙන් කරුණු දැක්වීමක් කරලා තිබෙනවා. එය සිදුවුණු ආකාරය සම්බන්ධයෙන් තැපැල් දෙපාර්තමේන්තුව පැත්තෙන් සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැත්තෙන් විමර්ශනයක් දියත් කරමින් පවතින්නේ. අවස්ථා දෙකකදි සිදුවෙලා තිබෙනවා ඒ ගැන තමයි දැන් විමර්ශන පැවැත්වෙන්නේ"