එක අතකින් කේක් දුන්නා කියලා විදුහල්පති සිසුවාට ගහපු පාරෙන් වෙච්ච විනාසේ - විදුහල්පති සොයා පොලිස් මෙහෙයුමක්
තලහිටිය ප්‍රදේශයේ විද්‍යාලයක 8 වැනි වසරේ ඉගෙනුම ලබන රෝගී තත්ත්වයකින් පසුවන සිසුවකුට, එම විද්‍යාලයේ විදුහල්පතිවරයා විසින් දණගස්වා පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් තෙබුවන පොලිසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව පසුගිය 20 වැනිදා පාසල් වාරය ආරම්භ වූ දිනයේ අදාළ සිසුවා පන්තිභාර ගුරුවරියට කේක් ලබා දී ඇත්තේ එක් අතකිනි.
එය දුටු විදුහල්පතිවරයා, සිසුවාට ගුරුවරියගෙන් සමාව ගන්නා ලෙස දන්වා අවස්ථා පහකදී දණගස්වා ඔහුගේ කනට සහ පිටට පහර දී ඇති බව පැමිණිල්ලේ සඳහන් බව වාර්තා වේ.
මෙම පහරදීම හේතුවෙන් සිසුවාගේ කනෙන් ලේ වහනය වී ඇති බව සඳහන්.
කෙසේ වෙතත් කළුතර නාගොඩ ශික්ෂණ රෝහලේදී සිදුකළ වෛද්‍ය පරීක්ෂණවලින් තහවුරු වී ඇත්තේ ඔහුගේ කන් බෙරයට හානි වී ඇති බවයි. එසේම සිසුවා මේ වන විට නාගොඩ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබබ බවද වාර්තා වේ.
මේ අතර පහරදීමට සම්බන්ධ විදුහල්පතිවරයා අත්අඩංගුවට ගැනීම වෙනුවෙන් ඉකුත් 23 වැනිදා පොලිසිය පාසල වෙත ගියද ඔහු එහි රැඳී සිට නැති බව සඳහන්.
එමෙන්ම මවුපියෝ චෝදනා කරන්නේ දරුවා දින තුනක් රෝහල්ගතව සිටියද විදුහල්පතිවරයා හෝ පාසලේ කිසිදු ගුරුවරයකු දරුවාගේ සුවදුක් බැලීමට හෝ ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට කටයුතු නොකළ බවයි.
එසේම පහරදීමේ ශබ්දය පාසල අසල මාර්ගයේ සිටි දරුවාගේ පියාට ද ඇසී ඇති බවත් දරුවාගේ මිතුරන් ද පියා වෙත මේ පිළිබඳ කරුණු අනාවරණය කර ඇති බවත් වැඩිදුරටත් වාර්තා වේ.