ඓතිහාසික මහියංගන රජමහා විහාරස්ථානයේ වාර්ෂික ඇසළ මහා පෙරහැර මංගල්‍යයට ජනපති එක් වෙයි
ඓතිහාසික මහියංගන රජමහා විහාරස්ථානයේ සහ ශ්‍රී සුමන සමන් මහා දේවාලයේ 2025 ඇසළ මහා පෙරහැර මංගල්‍යයේ සිව්වන රන්දෝලි පෙරහැර ඊයේ (06) රාත්‍රියේ වීථි සංචාරය කළේය.
මෙම අවස්ථාවට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එක්වූ අතර, ඔහු මහියංගන පුද බිම වෙත ගොස් ආගමික වතාවත්වල නිරත විය. එහිදී ජනාධිපතිවරයා අස්ගිරි විහාර පාර්ශ්වයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික සහ මහියංගන රජමහා විහාරාධිපති පූජ්‍ය උරුලෑවත්තේ ශ්‍රී ධම්මරක්ඛිත නායක හිමිපාණන් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබාගත්තේය. එමෙන්ම, උන්වහන්සේගේ සුවදුක් විමසමින් කෙටි පිළිසඳරකද නිරත වූ ජනාධිපතිවරයාට උන්වහන්සේ විසින් විශේෂ සිහිවටන තිළිණයක් පිළිගන්වන ලදී.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මංගල හස්ති රාජයා මත සධාතුක කරඬුව තැන්පත් කරමින් සිව්වන රන්දෝලි පෙරහැරේ සමාරම්භය සනිටුහන් කළේය. අනතුරුව ඔහු ප්‍රදේශවාසී ජනතාව සමඟ එක්ව පෙරහැර නැරඹීමටද සහභාගි විය.
මෙම උත්සවයට ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලැත්තෝ, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න, සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ, ඌව පළාත් ආණ්ඩුකාර නීතිඥ කපිල ජයසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුදත් බලගල්ල, අම්බිකා සැමුවෙල් යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
මෙම ඓතිහාසික ඇසළ පෙරහැර මංගල්‍යය මහියංගනයේ බෞද්ධ උරුමය සහ සංස්කෘතික වටිනාකම සුරැකීමේ සුවිශේෂී අවස්ථාවක් ලෙස සැලකේ.