හිටපු අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තහනම් නියෝගයක්
මිනීමැරුම් චෝදනාවක් සම්බන්ධයෙන් වරදකරු වී මරණීය දණ්ඩනය ලබා නිදහස් කෙරුණු හිටපු අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට විදේශගත වීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය තහනම් නියෝගයක් නිකුත් කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, අචල වෙංගප්පුලි සහ ගිහාන් කුලතුංග යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල නියෝගය නිකුත් කර ඇත්තේ අඳාළ විදෙස් ගමන් තහනම ආගමන හා විගමන පාලකවරයා වෙත දැනුම් දෙන ලෙසයි.
එමෙන්ම ප්‍රේමලාල් ජයසේකර ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට ඔක්තෝම්බර් මස 21 වන දින අධිකරණය හමුවේ පෙනී සිටි ලෙස දන්වා නොතිසි නිකුත් කරන ලෙසත් විනිසුරු මඩුල්ල නියෝග කර ඇත.
2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ එවක ජනාධිපති අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාගේ දේශපාලන රැස්වීමකට වෙඩි ප්‍රහාරයක් එල්ල කිරීම තුළින් පුද්ගල ඝාතන සිදුකිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු ප්‍රේමලාල් ජයසේකර මහතාට රත්නපුර මහාධිකරණය විසින් මරණීය දණ්ඩනය නියම කර තිබුණා.
එහෙත් අඳාළ මරණීය දණ්ඩනයට එරෙහිව ප්‍රේමලාල් ජයසේකර ඇතුළු විත්තිකරුවන් ඉදිරිපත් කළ අභියාචනයක් විභාග කළ අභියාචනාධිකරණය ඔවුන් නිදොස් කොට නිදහස් කිරීමට නියම කළා.
එබැවින් අභියාචනාධිකරණයේ එම තීරණය නීතියට පටහැනි බවත් ඒ අනුව එය බල රහිත කර දඩූවම් පැමිණවීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා එම සිද්ධියෙන් අගතියට පත්වූවන් විසින් මෙම අභියාචනා පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.
ඒ අනුව එම පෙත්සම ඊයේ (04) දින අගවිනිසුරුවරයා ප්‍රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගැණුනු අතර එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා විසින් කළ ඉල්ලීමක් සලකා බැලූ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝග නිකුත් කර තිබෙන බව සඳහන්.