පන්නල නගරයේ සිදුවූ සිනමාපට මට්ටමේ පොලිස් මෙහෙයුම-අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ සැකකාරියන් ගැන ගිරිඋල්ල පොලිසියෙන් විශේෂ නිවේදනයක්
පන්නල ප්‍රදේශයේදී ඊයේ (22) උදෑසන මෝටර් රථයක් හඹා ගොස් මත්ද්‍රව්‍ය (හෙරෝයින්) සමග සැකකරුවෙක් සහ සැකකාරියන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් පොලිසිය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ .
මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන බවට ලද තොරතුරක් මත, ගිරිඋල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ගිරිඋල්ල නගරයේ සිට මෝටර් රථයක් පසුපස හඹා ගොස්, පන්නල නගරයේදී එය නවතාගෙන පරීක්ෂා කිරීමට උත්සාහ කර තිබුණි .
එම අවස්ථාවේ පොලිස් අණ නොතකා නිලධාරීන් ද අනතුරට ලක් කර එම මෝටර් රථය නැවත ධාවනය කිරීමට උත්සාහ කළ අවස්ථාවේදී, එහි පසුපස රෝදයට වෙඩි තැබීමක් ද සිදු කළ බව වාර්තා වේ .
පරීක්ෂා කිරීම සඳහා දොර අගුළු විවෘත නොකිරීම හේතුවෙන්, නිලධාරීන් විසින් මෝටර් රථයේ ඉදිරි වම්පස දොරේ වීදුරුව කඩා සැකකරු සහ සැකකාරියන් දෙදෙනා පිටතට ගැනීමට පියවර ගෙන ඇත.
මෙම අවස්ථාවේදී හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 15 යි මිලිග්‍රෑම් 260 ක් සහ මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් බවට සැක කරන රුපියල් 924,770 ක මුදලක් සමග සැකකරු, සැකකාරියන් දෙදෙනා සහ මෝටර් රථය අත්අඩංගුවට ගෙන තිබේ.
36 හැවිරිදි සැකකරු සහ 39, 16 යන වයස්වල පසුවන සැකකාරියන් නෙළුම්දෙනිය ප්‍රදේශයේ තාවකාලිකව පදිංචි වී සිටින්නන් වන බව සදහන් කර තිබේ ඔවුන්ගේ නිවස පරීක්ෂා කිරීමේදී හෙරොයින් ග්‍රෑම් 62 ක්, මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් බවට සැක කරන රුපියල් 1,680,000 ක මුදලක් සහ මත්ද්‍රව්‍ය ඇසුරුම් කිරීමට යොදාගත් භාණ්ඩ කිහිපයක් ද සොයාගෙන ඇති බව වාර්තා වී ඇත
මෙම සිද්ධිය සම්බන්ධයෙන් ගිරිඋල්ල පොලිසිය වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරනු ලබයි .