ලේ විලක් මැද නිහඬ වූ ජීවිතවලට වසර 7කට පසු දුන් අවසන් පිළිතුර - වින්දියන් හඬා වැටෙද්දි විත්තිකරුවන් සිනාමුසු මුහුණින් අධිකරණයෙන් පිටතට
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට කුමන්ත්‍රණය කිරීම, ආධාර අනුබලදීම සහ අන්තවාදී දේශන පැවැත්වීම යන චෝදනාවලට වරදකරුවන් කරනු ලැබූ විත්තිකරුවන් 15 දෙනාට කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඊයේ (22) දින රාත්‍රියේ දඬුවම් නියම කර තිබුණා.
එබැවින් විත්තිකරුවන් 5 දෙනෙකුට වසර 200 බැගින්ද, තවත් විත්තිකරුවන් 5 දෙනෙකුට වසර 220ක්ද, විත්තිකරුවන් සිව්දෙනෙකුට වසර 240 බැගින් සහ එක් විත්තිකරුවෙකුට වසර 260ක් වශයෙන් බරපතළ සිරදඬුවම් නියම විය.
එසේම අධිකරණය නියෝග කළේ ඔවුන් සතු නිශ්චල හා චංචල දේපළ ද රාජසන්තක කරන ලෙසටයි. මෑත කාලීන ඉතිහාසයේ කෲරත්වයේ කළු පැල්ලමක් ශ්‍රී ලංකාවට එක් කරමින්, පාස්කු ඉරිදා ශ්‍රී ලංකාවේ කතෝලික දේවස්ථාන 3ක් සහ කොළඹ ප්‍රධාන හෝටල් 3ක් ඇතුළු ස්ථාන 8කදී සිදුවුණු මරාගෙන මැරෙන ප්‍රහාරයට අදාළව කුමන්ත්‍රණය කිරීම සහ ඊට ආධාර අනුබල දීම ඇතුළු චෝදනා 23,270ට අධික සංඛ්‍යාවක් යටතේ විත්තිකරුවන් 25 දෙනෙකුට එරෙහිව නඩු පැවරුවේ පසුගිය 2019 වසරේදීයි.
ස්වාමිනී මගේ පෙම්වතිය තාමත් මන් වෙනුවෙන් බලන් ඉන්නවා - පාස්කු නඩුවේ 11 වෙනි වැරදිකරු වැලෙපෙමින් කෙරූ හෙළිදරව්ව
එසේම නවුෆර් මවුලවි ඇතුළු විත්තිකරුවන් 25 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබූ මෙම නඩුව වෙනුවෙන් පැමිණිලිකරුවන් 2,309 දෙනෙකු සාක්ෂි ලබාදී ඇත.
කෙසේ වෙතත් වසර කිහිපයක් පුරා පැවති සාක්ෂි විමසීමේ කටයුතු අවසන් කෙරුණේ පසුගිය අගෝස්තු 24 වැනි දිනයි. එබැවින් මෙම නීති කෘත්‍යයේ අවසාන තීන්දුව නවරත්න මාරසිංහ, රාමනාදන් කන්නන් සහ සුජීව නිශ්ශංක යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල මඟින් ඊයේ (22) දින පස්වරුවේ ප්‍රකාශ කර ඇත.
ඒ අනුව සිය අවසන් නිගමනය ප්‍රකාශයට පත්කරමින් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරුවරයා පවසා සිටියේ,
''සියලු සාක්ෂි සලකා බැලීමෙන් පසු විනිසුරුවරුන් තිදෙනාගේම ඒකමතික තීන්දුවක් ලෙස මෙම නිගමනවලට එළැඹ තිබෙනවා.ඒ අනුව මෙම නඩුවේ පළමු, දෙවන,තෙවන ,සිව්වන, පස්වන,හයවන, හත්වන, අටවන, නවවන, දහවන, එකොළොස්වන, පහළොස්වන, දහසයවන, දාහත්වන සහ දහඅටවන විත්තිකරුවන්ට එරෙහිව පැමිණිල්ල විසින් ඉදිරිපත් කර තිබූ අධිචෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඉදිරිපත් කර ඇති බවට විනිසුරු මඩුල්ල ඒකමතිකව තීන්දු කරනු ලබනවා. කෙසේවෙතත් දොළොස්වන, දහතුන්වන, දාහතරවන, විසිවන, විසිඑක්වන, විසිදෙවන, විසි තුන්වන, විසි හතරවන සහ විසිපස්වන විත්තිකරුවන්ට එරෙහිව පැමිණිල්ල විසින් ඉදිරිපත් කර ඇති චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීමට අසමත් වී ඇති බැවින් ඔවුන් නිදොස්කොට නිදහස් කිරීමට තීන්දු කරනු ලබනවා'' යනුවෙන්.
සුළු මොහොතකට පෙර පාස්කු ප්‍රහාරයට අදාළ නඩු විභාගයේ අවසන් තීන්දුව ප්‍රකාශයට - වරදකරුවන් 15 දෙනාට දුන් දඬුවම මෙන්න
පසුව අදාළ චෝදනාවලට වරදකරුවන් කෙරුණු විත්තිකරුවන්ගේ දඩුවම් ප්‍රකාශයට පත් කෙරුණේ ඊයේ රාත්රියේදීයි. ඒ අනුව වැරදිකරුවන් වූ විත්තිකරුවන්ට දඬුවම් නියම කළ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විත්තිකරුවන් 5 දෙනෙකුට වසර 200 බැගින්ද, විත්තිකරුවන් 5 දෙනෙකුට වසර 220 බැගින්ද, විත්තිකරුවන් 4 දෙනෙකුට වසර 240ක් සහ එක් විත්තිකරුවෙකුට වසර 260 බැගින්ද බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියමකරන බව පැවසුවා.
එබැවින් වසර 200 බැගින් වූ බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම වූ විත්තිකරුවන් වූයේ හයවන විත්තිකාර මොහොමඩ් අන්වර් මොහොමඩ් රිස්කාන්, හත්වන විත්තිකාර මොහොමඩ් මන්සූර් මොහොමඩ් සන්ස්දීන්, එකළොස්වන විත්තිකාර හුසේයිනුල් රිස්වි කාලිඩ් සමීර්, පහළොස්වන විත්තිකාර මොහොමදු හනීෆා සෙයිනුල් ආබ්දීන් සහ දහනවවන විත්තිකරු වූ කච්චි මොහොමදු මොහොමදු ජෙම්සිත් යන පිරිසයි.
එමෙන්ම සහරාන්ගේ අන්තවාදී න්‍යායාචාර්යවරයා සහ ඔහුගෙන් පසු අන්තවාදී කණ්ඩායමේ නායකයා වශයෙන් හඳුන්වනු ලැබූ නඩුවේ පළමු විත්තිකාර මොහොමදු ඊබ්‍රාහිම් මොහොමදු නවුෆර් හෙවත් නවුෆර් මවුලවි, නවවන විත්තිකාර මොහොමඩ් රාමිෂ් මොහොමඩ් සාජිත්, දසවන විත්තිකාර අබ්දුල් ලතීෆ් මොහොමඩ් සාෆි, දහසය වන විත්තිකාර මොහොමඩ් මුස්තාෆා මොහොමඩ් හාරිස් සහ දහඅටවන විත්තිකාර රසික් රාසා හුසේන් යන විත්තිකරුවන්ට අධිකරණය වසර 220 බැගින් වූ බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කර සිටියා.
එසේම අධිකරණය වසර 240ක බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කළ විත්තිකරුවන් වූයේ දෙවන විත්තිකාර මොහොමඩ් සරිබු ආදම් ලෙබ්බේ හෙවත් ගෆූර් මාමා, තුන්වන විත්තිකාර හයාතු මොහොමදු අහමදු මිල්හාන්, හතරවන විත්තිකාර මොහොමඩ් ඊබ්‍රාහිම් සාදික් අබ්දුල්ලා සහ පස්වන විත්තිකාර මොහොමඩ් ඊබ්‍රාහිම් සාහිඩ් අබ්දුල් හක් යන සහෝදරයින් දෙපළයි.
එසේම නඩුවේ අටවන විත්තිකාර අබ්දුල් මනාෆ් මොහොමඩ් ෆිදර්වුස් යන අයට අධිකරණය වසර 260ක බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කර සිටියා. තවද වරදකරුවන් වූ විත්තිකරුවන් 15 දෙනාගේම නිශ්චල සහ චංචල දේපළ සියල්ල නඩු තීන්දුව නිකුත් කළ මොහොතේ පටන් රාජසන්තක කරන බවද ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල සඳහන් කළා.
වසර 200කට වඩා වැඩි බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියමවූ විත්තිකරුවන් 15 දෙනා අද(23) දින අලුයම 2.30ට පමණ බන්ධනාගාර නිලධාරීන් විසින් වැලිකඩ බන්ධනාගාරය වෙත රැගෙන යනු ලැබූ අතර එහිදී විත්තිකරුවන් අධිකරණ පරිශ්‍රයෙන් පිටතට පැමිණෙන මොහොතේ සිනාමුසු මුහුණින් පැමිණෙන ආකාරයත් ඇතැම් විත්තිකරුවන් පාස්කු ප්‍රහාරයට පෙර සහරාන් හෂීම් ඇතුළු මරාගෙන මැරෙන ප්‍රහාරකයින් ''බයියත්'' දිවුරුම දුන් අවස්ථාවේ පෙන්නුම් කළ හස්ත මුද්‍රාව යළි පෙන්නුම් ආකාරයත් නිරීක්ෂණය වූ බව සඳහන්.