AI සමඟින් අලුත් මුහුණුවරකින් එන Hyundai Bayon SUV රථය - ඉන්දීය වෙළෙඳපොළේ වෙනසක් සිදු කරයිද?
Hyundai සමාගමේ නවතම SUV රථයක් වන Hyundai Bayon සඳහා වෙන්කරවා ගැනීම් ඉන්දියාවේදී ආරම්භ කර තිබෙනවා. Hyundai Motor India සමාගම විසින් මෙම නව SUV රථය සඳහා රුපියල් 11,000ක ටෝකන් මුදලක් යටතේ වෙන්කරවා ගැනීම් භාරගැනීම ආරම්භ කර ඇති අතර, සමාගමේ නිල වෙබ් අඩවිය සහ දිවයින පුරා පිහිටි බලයලත් අලෙවි නියෝජිත ආයතන හරහා ඒ සඳහා අවස්ථාව ලබාදී තිබෙනවා.
මෙම නව SUV රථය ඉදිරි උත්සව සමයේදී ඉන්දීය වෙළෙඳපොළට හඳුන්වාදීමට නියමිත බව වාර්තා වන අතර, මෝටර් රථය තුළ නවීන තාක්ෂණික පහසුකම් රැසක් ඇතුළත් කිරීමට Hyundai සමාගම කටයුතු කර තිබෙනවා.
දිග මීටර් 4.2කට ආසන්නයි
Hyundai Bayon රථයේ දිග මීටර් 4.2කට ආසන්න වන අතර, එය Hyundai Creta සහ Venue මාදිලි දෙක අතර ස්ථානගත වන SUV රථයක් ලෙස සැලකිය හැකියි.
Hyundai සමාගම පවසන්නේ එහි ප්‍රමාණය නගර භාවිතයට පහසු වන අතරම, මගීන් සඳහා ප්‍රමාණවත් පාද, හිස සහ උරහිස් ඉඩකඩක් ලබාදෙන ආකාරයට නිර්මාණය කර ඇති බවයි.
ලීටර් 1.5 පෙට්‍රල් එන්ජිමක්
Bayon රථය සඳහා ලීටර් 1.5ක ස්වභාවිකව වායු ලබාගන්නා පෙට්‍රල් එන්ජිමක් තහවුරු කර තිබෙනවා. මෙම සිව් සිලින්ඩර එන්ජිමෙන් අශ්වබල 113ක බලයක් සහ 144 Nmක උපරිම ව්‍යවර්ථයක් ලබාදෙන අතර, එය වේග 6ක මැනුවල් ගියර් පද්ධතියක් හෝ Hyundai සමාගමේ Intelligent Variable Transmission (IVT) ගියර් පද්ධතියක් සමඟ ලබාගත හැකියි.
මෙම එන්ජිම දැනටමත් Hyundai Creta වැනි මාදිලි සඳහා භාවිත වන එන්ජිමක්. මීට අමතරව, ඉදිරියේදී කර්මාන්තශාලාවෙන්ම සවි කරන ලද CNG ප්‍රභේදයක් හඳුන්වාදීමට Hyundai සමාගම සූදානම් වන බවට වාර්තා පළ වී තිබෙනවා.
එමෙන්ම Turbo-Petrol එන්ජින් විකල්පයක් ද පසුව එක්විය හැකි බව සඳහන් වුවද, ඒ පිළිබඳව සමාගම මෙතෙක් නිල වශයෙන් තහවුරු කර නැහැ.
නවීන නිර්මාණයක් සහ AI තාක්ෂණය
Hyundai Bayon රථයේ බාහිර පෙනුම SUV ආකෘතියට ගැළපෙන පරිදි නිර්මාණය කර ඇති අතර, sculpted bonnet, H-හැඩැති LED daytime running lights, geometric wheel arches, door cladding සහ roof rails වැනි අංග ඊට ඇතුළත්.
එමෙන්ම මෝටර් රථය තුළ generative AI මත පදනම් වූ හඬ සහායකයෙකුද ඇතුළත් කිරීමට Hyundai සමාගම කටයුතු කර තිබෙනවා.
ආරක්ෂාවටත් වැඩි අවධානයක්
Hyundai Bayon රථය Hyundai සමාගමේ Global K Enhanced platform මත පදනම්ව නිර්මාණය කර තිබෙන අතර, ඉන්දියානු වෙළෙඳපොළ සඳහා තරු පහේ ආරක්ෂක ප්‍රමිතියක් ඉලක්ක කරමින් සංවර්ධනය කර ඇති බව සමාගම පවසනවා. මගී ආරක්ෂාව සහ රථයේ ව්‍යුහාත්මක ශක්තිය කෙරෙහි අවධානය යොමු කර ඇති අතර, රියදුරු සහායක තාක්ෂණයන් ඇතුළු ආරක්ෂක පහසුකම් රැසක් ද මෙයට ඇතුළත් කිරීමට නියමිතයි.