ඩිජිටල් අපනයන ආදායම ඩොලර් බිලියන 5 දක්වා ඉහළ නැංවීමේ රජයේ දැවැන්ත ඉලක්කය
ශ්‍රී ලංකාවේ තාක්ෂණික හැකියාවන්, දැනුම සහ මානව ප්‍රාග්ධනය සංවර්ධනය කරමින් ආයෝජකයන් සඳහා අවස්ථා නිර්මාණය කරන දිගුකාලීන හවුල්කාරීත්වයක් ගොඩනැගීම රජයේ අරමුණ බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පවසයි.
කොළඹදී පැවැත්වෙන ගෝලීය ප්‍රධාන තොරතුරු නිලධාරීන්ගේ සමුළුවට (Global CIO Forum) ඊයේ (23) එක්වෙමින් ඇය මේ බව සඳහන් කළාය.
ඩිජිටල් පරිවර්තනය හුදෙක් තාක්ෂණික න්‍යාය පත්‍රයක් නොව, ශ්‍රී ලංකාවේ ආර්ථික හා සමාජ පරිවර්තනයේ අත්‍යවශ්‍ය අංගයක් බවද අග්‍රාමාත්‍යවරිය පැවසුවාය.
ඩිජිටල් අපනයන ක්ෂේත්‍රය ඇමෙරිකානු ඩොලර් බිලියන 5ක් දක්වා සංවර්ධනය කිරීම රජයේ ඉලක්කයක් බව සඳහන් කළ ඇය, තාක්ෂණයේ ප්‍රතිලාභ සියලු දෙනාට සමානව ලබාගත හැකි පරිසරයක් නිර්මාණය කිරීමේ අවශ්‍යතාවද අවධාරණය කළාය.
කාන්තාවන් සහ ගැහැණු ළමයින් ඇතුළු සියලු පාර්ශ්වයන්ට ඩිජිටල් තාක්ෂණය හා කුසලතා වෙත ප්‍රවේශය ලබාදීම මෙන්ම තරුණයන් සඳහා අවස්ථා නිර්මාණය කිරීමද වැදගත් බව ඇය වැඩිදුරටත් සඳහන් කළාය.
සැප්තැම්බර් 22 සිට 24 දක්වා පැවැත්වෙන Global CIO Forum සමුළුවේදී කෘත්‍රිම බුද්ධිය, සයිබර් ආරක්ෂාව, ඩිජිටල් පොදු යටිතල පහසුකම් සහ ක්ලවුඩ් තාක්ෂණය ඇතුළු කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වේ.