සුදු ඇඳගෙන කළු වැඩ කරන ලොක්කෝ රැසක් ගැන පොලිස්පතිගේ කටින්ම - ජාතික දේශපාලනය බරපතළ අනතුරක
පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන මහතාට එල්ලවී ඇති තර්ජන සම්බන්ධයෙන් අදහස් පළ කර තිබෙනවා.
ඒ අනුව පොලිස්පතිවරයා පැවසුවේ මන්ත්‍රී ජගත් විතාන මහතාට මේ වනවිට තාවකාලික ආරක්ෂාවක් ලබා දී ඇති වුවත් මෙම තර්ජනය ගොඩනැගී ඇත්තේ මන්ත්‍රීවරයා සංවිධානාත්මක අපරාධවලට යම් සම්බන්ධ පුද්ගලයන් සමඟ සහසම්බන්ධකම් පැවැත්වීම හේතුවෙන් බවයි.
මේ වන විට හෙළිව ඇත්තේ මෙම තර්ජනය මතු වී ඇත්තේ මහජන දේශපාලන කටයුතුවල නිරත වීමට යාම හේතුවෙන් නොව, යම් යම් කූට ව්‍යාපාර සහ ජාවාරම්කාර පුද්ගලයන් සමඟ සහසම්බන්ධ වීමෙන් බවයි.
එසේම ඔහු ප්‍රකාශ කළේ මෙම තර්ජනය නිර්මාණය වූ ආකාරය සම්බන්ධයෙන් පොලිසිය විවෘතව විමර්ශනයක් පවත්වන බවයි.
තවද විමර්ශන කටයුතුවලට ලැබෙන සෑම තොරතුරක්ම පහළ මට්ටමට යොමු කරමින් ක්‍රියා කරන බවත්, ඒ පිළිබඳ විමර්ශන කටයුතු කරන අවස්ථාවකදී අදාළ තොරතුරු එතුමාට ගොස් තිබෙන බවත් ඔහු පවසා ඇත.
එමෙන්ම ඝාතනයට පත් වූ සභාපතිවරයෙකු විසින් ආරක්ෂාව සපයන මෙන් ලිඛිතව ඉල්ලීමක් කර තිබූ බවටද පොලිස්පතිවරයා දන්වා ඇත.
ඒ පිළිබඳව තොරතුරු ලබා දී තිබෙන අතර, බිම් මට්ටමට ගොස් එම පුද්ගලයාට දැනුම් දී තිබෙන බවද සඳහන්.
කෙසේ වෙතත් තවදුරටත් අදහස් දැක්වූ පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය විසින් ශ්‍රී ලංකාවේ දේශපාලනයට බලපා ඇති බරපතළ තත්ත්වයක් පිළිබඳව අවධානය යොමු කළා.
ඒ අනුව ඔහු අවධාරණය කරමින් කියා සිටියේ මත්ද්‍රව්‍ය ව්‍යාපාරයට සම්බන්ධ පුද්ගලයින් සහ සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ පුද්ගලයින් දේශපාලනයට පැමිණ තිබෙන බවත්, ඉදිරියේදී ඔවුන් ජාතික දේශපාලනයට පවා පැමිණීමට සැලසුම් සකස් කර ඇති බවත් මෙම තත්ත්වය සම්බන්ධයෙන් සෑම දේශපාලන පක්ෂයකටම වගකීමක් ඇති බවයි.
එබැවින් මත්ද්‍රව්‍ය ව්‍යාපාරයට සම්බන්ධ පුද්ගලයින්ට සහ සංවිධානාත්මක අපරාධකරුවන්ට සාමාජිකත්වය දිය යුතු ද, ඉදිරි මැතිවරණවලදී අපේක්ෂකත්වය දිය යුතු ද යන්න දේශපාලන පක්ෂ මඟින්ම තීරණය කළ යුතු බව ද පොලිස්පතිවරයා පෙන්වා දී ඇත.
අඳාළ අපරාධකරුවන් දේශපාලනයට පැමිණෙන්නේ “සුදු ඇඳගෙන කළු වැඩ කර” තමුන්ගේ කර්තව්‍යයන් වන මත්ද්‍රව්‍ය ජාවාරම් සහ සංවිධානාත්මක අපරාධ සඳහා ආවරණයක් ලබා ගැනීමට උත්සාහ කරමින් බවද ඔහු වැඩිදුරටත් කියා සිටියා.