වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ රූපවාහිනී මැදිරිය අග්‍රාමාත්‍යතුමියගේ සුරතින් සිසු අයිතියට [PHOTOS]
රත්මලාන වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ මාධ්‍ය ක්ෂේත්‍රය හදාරන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ ප්‍රායෝගික පුහුණු කටයුතු වඩාත් කාර්යක්ෂම කිරීම වෙනුවෙන් නවීන තාක්ෂණික උපාංගවලින් සමන්විත රූපවාහිනී මැදිරියක් සහ නිෂ්පාදන පහසුකම් අද දින (මැයි 26) සිසු අයිතියට පත් කෙරිණි.
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් මෙම සමාරම්භක උත්සවය පැවැත්විණි.
මීට සමගාමීව සිසුන්ගේ අධ්‍යාපන ක්ෂේත්‍රය පුළුල් කරමින් වෙබ් ගුවන් විදුලි නාලිකාවක් ඇතුළු සේවා රැසක් දියත් කළ හැකි විකාශන මැදිරියක්, අතිනූතන කෘත්‍රිම බුද්ධි පර්යේෂණාගාරයක් මෙන්ම ස්ත්‍රී පුරුෂ සමාජ භාවය, සාධාරණත්වය හා සමානාත්මතාවය පිළිබඳ විශේෂ මධ්‍යස්ථානයක් ද අග්‍රාමාත්‍යවරිය අතින් විවෘත විය.
මෙම උත්සවය අතරතුරදී, මෑතකදී ඇති වූ ගංවතුර ඇතුළු ස්වභාවික ආපදා හේතුවෙන් පීඩාවට පත් වූ පාසල් කිහිපයක දරු දැරියන්ගේ අධ්‍යාපන කටයුතු අඛණ්ඩව කරගෙන යාම සඳහා ලැප්ටොප් පරිගණක පරිත්‍යාග කිරීම ද සිදු කෙරිණි.
එමෙන්ම, 2030 වසර වන විට විශ්වවිද්‍යාලය කාබන් විමෝචනයෙන් තොර කලාපයක් බවට පත් කිරීමේ අරමුණින් සකස් කරන ලද පරිසර හිතකාමී හරිතකරණ ප්‍රතිපත්තිය ද මෙහිදී නිල වශයෙන් එළිදැක්විය.
මෙමඟින් ඉදිරි සියලු ඉදිකිරීම් හරිත සංකල්පයට අනුව සිදු කිරීමටත්, වෘත්තීය අධ්‍යාපනය ලබන සිසුන් හරිත රැකියා අවස්ථා සඳහා යොමු කිරීමටත් අපේක්ෂිතය.
නිල උත්සවයෙන් අනතුරුව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සංගම් නියෝජිතයින් හමුවී ඔවුන්ගේ අධ්‍යාපනික ගැටලු පිළිබඳව සුහද සාකච්ඡාවක ද නිරත වූවාය.
මෙම අවස්ථාවට වෘත්තීය අධ්‍යාපනය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව සහ රත්මලාන වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය කේ.එම්.ජී. ප්‍රසන්න ප්‍රේමදාස යන මහත්වරුන් ඇතුළු විද්වතුන් පිරිසක් සහභාගී වූහ.




