තද සුළං සමඟ මුහුදු රලත් උස් වේ - කාලගුණයෙන් දරුණු අනතුරු ඇගවීමක්

Report

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල පවතින රළු ස්වභාවය, තද සුළං සහ මුහුදු රළ උස ඉහළ යාමේ අවදානම පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් විශේෂ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.

අද (26) පස්වරු 04.30 ට නිකුත් කරන ලද මෙම හදිසි නිවේදනය හෙට (27) පස්වරු 04.30 දක්වා ඉදිරි පැය 24 පුරා වලංගු වන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මෙම නිවේදනයට අනුව කන්කසන්තුරය සිට මන්නාරම හරහා හලාවත දක්වා වන මුහුදු තීරයේ සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය ක්ෂණිකව පැයට කිලෝමීටර් 60 දක්වා ඉහළ යා හැකියි.

හෙට දිනටත් මේ පැති වලට අනතුරු අවදානමක් - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නිවේදනයක්

හෙට දිනටත් මේ පැති වලට අනතුරු අවදානමක් - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නිවේදනයක්

මේ හේතුවෙන් එම මුහුදු ප්‍රදේශ විටින් විට දැඩි ලෙස රළු විය හැකි බව දන්වා ඇත. මීට අමතරව කල්පිටිය සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන මුහුදු කලාපවල රළ උස මීටර් 2 සිට 3 දක්වා ප්‍රමාණයකින් ඉහළ යා හැකි අතර, තරංග කාලය තත්පර 10 ත් 14 ත් අතර අගයක පවතිනු ඇතැයි ගණනය කර තිබේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් අනතුරු අඟවන්නේ, පවතින මෙම සාගර කලාපීය වෙනස්වීම් හේතුවෙන් කොළඹ සිට ගාල්ල හරහා මාතර දක්වා වන වෙරළබඩ කලාපවලට මුහුදු රළ ගොඩබිම් දෙසට පැමිණීමේ ඉහළ හැකියාවක් පවතින බවයි.

මේ හේතුවෙන්, වෙරළ ආශ්‍රිතව වෙසෙන ජනතාව මෙන්ම අදාළ මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවික කටයුතුවල නිරත වන පිරිස් මේ පිළිබඳව දැඩි ලෙස අවධානය යොමු කර, ආරක්ෂිත පියවර අනුගමනය කළ යුතු බවට දන්වා සිටියි.

Gallery