මිහින්තලේ බෝධියක් කඩා වැටී එක් අයෙක් ජීවිතක්ෂයට
අද දහවල් පැවති අධික සුළං තත්ත්වය හේතුවෙන් ඓතිහාසික මිහින්තලා රජමහා විහාරස්ථානය උඩ මළුවේ සේල චෛත්‍යය ඉදිරිපිට පිහිටි අම්බස්තල බෝධීන් වහන්සේ කඩා වැටීම හේතුවෙන් වන්දනාවේ පැමිණි බැතිමතෙකු ජීවිතක්ෂයට පත්ව, කුඩා දැරියක් සීරීමේ තුවාල ලබා ඇතැයි මිහින්තලේ පොලිසිය පවසයි.
ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ඊතනවත්ත, දෙමළුව, වාරියපොළ ලිපිනයේ පදිංචි 45 හැවිරිදි ව්‍යාපාරික අසංක බණ්ඩාර හේරත් ය.
අද දහවල් 1.30ට පමණ, වාරියපොළ ප්‍රදේශයේ සිටින මෙම ව්‍යාපාරිකයා සහ පවුලේ ඥාතීන් මිහින්තලා මහ සෑය වැඳ පුදා වන්දනා කිරීම සඳහා බෝධිය අසල ගමන් කරන අවස්ථාවේදී අනතුර සිදුවී ඇත.
අධික සුළං හේතුවෙන් බෝධිය මුල ප්‍රදේශයෙන් ඉදිරියට ගොස්, මැදින් කොටස් දෙකකට වෙන් වී පතිත වී ඇත.
විශාල ශබ්දයකින් බෝධිය දෙකට වෙන්වන අවස්ථාවේදී, අසල සිටි වයස අවුරුදු 9ක් පමණ දැරියක් බේරා ගැනීමට මිහින්තලා රජමහා විහාරස්ථානයේ රජකාරියකු කටයුතු කළේය.
කඩා වැටුණු බෝධියේ අත්තකට යටවී සිටි ව්‍යාපාරිකයා බේරාගෙන මිහින්තලා රජයේ රෝහලට ඇතුළත් කළ අතර, එහිදී ජීවිතක්ෂයට පත්ව තිබේ.