ආන්දෝලනාත්මක චීන නැව අතරේ ප්‍රහාරාත්මක නැවක් ලංකාවට...

Sri Lanka Pakistan Ship
By Aruna Aug 10, 2022 01:30 AM GMT
Aruna

Aruna

Report

චීන නෞකාව සම්බන්ධයෙන් මතුවී ඇති උණුසුම අතරතුර පාකිස්තාන ප්‍රහාරාත්මක මිසයිල යුද නෞකාවක් සම්බන්ධයෙන් ද ශ්‍රී ලංකාව පිළිබඳ ඉන්දිය මාධ්‍ය තුළ නව කතාබහක් මතුවී තිබේ.

ඒ පාකිස්තාන නාවික හමුදාවට අයත් තයිමූර් නම් ප්‍රහාරාත්මක මිසයිල යුද නෞකාවට කොළඹ වරායට පිවිසීම සඳහා ශ්‍රී ලංකා රජය අවසර ලබාදීම සම්බන්ධයෙනි.

චීනයේ නිෂ්පාදිත ප්‍රහාරක නෞකාවක් වන මෙය කාම්බෝජ සහ මැලේසියානු නාවික හමුදා සමග සිදුකළ යුද අභ්‍යාසයකින් පසු පාකිස්තානය වෙත පළමුවරට යන අවස්ථාවේදී මෙරටට පැමිණීමට නියමිත බව වාර්තා වෙයි.

නෞකාව මලයාසියාවේ ලුමුට් වරායේ සිට පාකිස්තානය වෙත යන අතරතුර සේවා සඳහා බංග්ලාදේශ චැත්‍රෝග්‍රාම් වරාය වෙත පිවිසිමට අවසර ඉල්ලුව ද බංග්ලාදේශ රජය ඊට අවසර ලබානොදීම නෞකාව ශ්‍රී ලංකාවට පැමිණීමට හේතුවී තිබේ.

බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා මහත්මිය ඉදිරියේදී ඉන්දියාවේ සංචාරයක යෙදෙමින් සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් ඇරඹීමට සූදානම්ව සිටීම, පාකිස්තාන නෞකාවට බංග්ලාදේශය අවසරය ලබානොදීමට හේතුව බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව මෙම ප්‍රහාරාත්මක මිසයිල යුද නෞකාව අගෝස්තු 12 වනදා සිට 15 වනදා දක්වා කොළඹ වරාය වෙත පැමිණ සේවා ලබාගැනීමට නියමිතය.

ඉන්දිය සයුරේ භූ දේශපාලනය හා ශ්‍රී ලංකාවේ ඉන්දු – චීන සහයෝගීතාව පිළිබඳ නව කතාබහක් මෙලෙස ඇතිවී තිබෙන පසුබිමක ඉතිහාසයේ පළමු වරට අමෙරිකානු නාවික හමුදා නෞකාවක් නඩත්තු කටයුතු සඳහා ඉන්දියාව වෙත පැමිණ තිබේ. ඉන්දියාවේ චෙන්නායි හි කට්ටුප්පල්ලි වරාය වෙත එලෙස පැමිණ ඇත්තේ චාල්ස් ඩ්‍රෘ නමැති නෞකාවය.

ඉන්දු – එක්සත් ජනපද උපායමාර්ගික හවුල්කාරීත්වය යටතේ මෙම නෞකාව නඩත්තු කිරීම සිදු කෙරෙයි.

ඒ අනුව චාල්ස් ඩ්‍රෘ නෞකාව පසුගිය ඉරිදා චෙන්නායි, කට්ටුප්පල්ලි වරාය වෙත පැමිණ ඇති අතර එය දින 11ක් එම වරායේ නැංගුරම්ලා තිබෙන බව වාර්තා වෙයි.

ඉන්දියානු සාගරයේ ඩියේගෝ ගාර්ෂියා දූපතේ සහ සිංගප්පුරුව තුළ මේ වනවිටත් අමෙරිකානු නාවික හමුදා නෞකා නඩත්තු කටයුත් සිදුකරන අතර ඒ අනුව චෙන්නායි කට්ටුප්පල්ලි වරාය අමෙරිකානු නාවික හමුදා නෞකා නඩත්තු කටයුතු කරන නවතම ස්ථානය වනු ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now