බලාපොරොත්තු බිඳ වැටෙයි - කාසියේ වාසිය ලැබුවත් ලංකාවට පළමු T20 තරගයෙන්ම පරාජයක්
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර පැවැත්වෙන තරග 3කින් සමන්විත විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද (09) දින පැවැත් වුණා.
එහි පළමු තරගයෙන්ම ශ්‍රී ලංකාව පරාජයට පත් වූයේ කඩුලු 4කින් පාකිස්තානය ජයගැනීමත් සමඟයි.
රාවල්පිණ්ඩි හිදී පැවැති පළමු තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 182ක් රැස් කිරීමට සමත් වූ අතර ශ්‍රී ලංකා ලකුණු පුවරුව ඉහළට ඔසවා තැබීම සඳහා අගනා ඉනිමක් ගොඩනැගූ ළහිරු උදාර පන්දු 55කදී 4 පහර 11ක් සහ එක් හයේ පහරක් සමග ලකුණු 91ක් රැස් කිරීමට සමත් විය.
එබැවින් තරගය ජයගැනීමට පාකිස්තානයට හිමිවූ ඉලක්කය ලකුණු 183ක්. මෙම ඉලක්කය හඹා යෑමට පිටියට පිවිසි පාකිස්තාන පිතිකරුවන් පන්දුවාර 18යි පන්දු 5ක් අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 187ක් ලබා සිය ජයග්‍රහණය සනිටුවහන් කිරීමට සමත් විය.