පාකිස්ථාන - ඇෆ්ගන් ගැටුම යළි උණුසුම් - කාන්තාවන් හා ළමුන් ඇතුළු 10ක් මරුට..
පාකිස්ථානය විසින් ඇෆ්ගනිස්ථානයේ කුනාර් සහ හෙල්මන්ඩ් ප්‍රදේශ ඉලක්ක කර එල්ල කළ බව කියන ගුවන් ප්‍රහාරවලින් පුද්ගලයින් 10 දෙනෙකු මියගොස් තවත් 11 දෙනෙකු තුවාල ලබා ඇති බව ඇෆ්ගන් තලේබාන් පාලනය පවසනවා.
මියගිය පිරිස අතර කාන්තාවන් සහ ළමුන් ද සිටින බව තලේබාන් ප්‍රකාශක සබිහුල්ලා මුජාහිඩ් සඳහන් කර තිබෙනවා.
කෙසේ වෙතත්, පාකිස්ථාන බලධාරීන් පවසන්නේ එම ප්‍රහාරවලින් ත්‍රස්තවාදීන් 22 දෙනෙකු මියගිය බවයි.
විශ්වාසදායක බුද්ධි තොරතුරු මත පදනම්ව ත්‍රස්තවාදීන් රැඳී සිටින සැඟවුණු ස්ථාන ඉලක්ක කර ගනිමින් මෙම ගුවන් ප්‍රහාර එල්ල කළ බව පාකිස්ථාන රජය ප්‍රකාශ කර තිබෙනවා.
මේ අතර, පසුගිය මාස කිහිපය තුළ පාකිස්ථානය සහ ඇෆ්ගනිස්ථානය අතර පැවති සාපේක්ෂ සාමකාමී තත්ත්වය බිඳ වැටීමත් සමඟ දෙරට අතර යළිත් ගැටුම්කාරී තත්ත්වය උත්සන්න වී තිබෙනවා.
පාකිස්ථානය චෝදනා කරන්නේ ඇෆ්ගනිස්ථානය තුළ සිට ක්‍රියාත්මක වන සන්නද්ධ කණ්ඩායම් සිය දේශසීමා හරහා ප්‍රහාර එල්ල කරන බවයි.
කෙසේ වෙතත්, ඇෆ්ගන් තලේබාන් පාලනය එම චෝදනා ප්‍රතික්ෂේප කරමින් සිටිනවා.
දෙරට අතර පවතින මෙම මතභේදය හේතුවෙන් පාකිස්ථාන - ඇෆ්ගන් දේශසීමා කලාපයේ ආරක්ෂක තත්ත්වය තවදුරටත් උණුසුම් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.