සියලුම බැංකු ගිණුම් හිමියන්ට විශේෂ දැනුම්දීමක්
අන්තර්ජාලය ඔස්සේ බැංකුවලින් මුදල් වංචා කරන කණ්ඩායම්වල නවතම ඉලක්කය බවට සංචාරක ප්‍රදේශවල හෝටල් පත්ව ඇතැයි නීති විරෝධී වත්කම් විමර්ශන ඒකකය පවසයි.
ප්‍රසිද්ධ වෙබ් අඩවි හරහා හෝටල් වෙන්කරවා ගැනීම් සිදුකරන මෙම වංචාකරුවන්, හෝටල් ගිණුම්වලට මුදල් බැර කළ බව පවසමින්, එම ගිණුම්වලට සම්බන්ධ ජංගම දුරකථනවලට එක්වරක් යොමුවන OTP (ඕ.ටී.පී.) අංක ලබාගනිති. මෙමඟින් ඔවුන් රුපියල් කෝටි ගණනින් මුදල් සොරකම් කරන බව ජාලගත වංචා විමර්ශන ඒකකය හෙළි කරයි.
මේ වනවිට එවැනි පැමිණිලි රැසක් ලැබී ඇති බවත්, කිසිදු අවස්ථාවක OTP අංක බාහිර පාර්ශවයකට ලබා නොදෙන ලෙසත් එම ඒකකය ජනතාවගෙන් ඉල්ලයි.
ඉංග්‍රීසි බස හසුරවමින් විදේශිකයන් ලෙස පෙනී සිටින මෙම කණ්ඩායම්, හෝටල්වලට ඇමතුම් ලබාදෙමින් රවටා ගිණුම් හිස් කරන බවත්, මෙම වංචාවලට බොහෝ දුරට නයිජීරියානු ජාතිකයන් සම්බන්ධ බවත් විමර්ශනවලින් හෙළිව ඇත.
ඊට අමතරව, ව්‍යාජ ෆේස්බුක් ගිණුම් ඇතුළු සමාජ මාධ්‍ය හරහා කාන්තාවන් රවටමින්, විවාහය හෝ විදේශ ගමන් වාග්දෙන ලබාදෙමින් ඔවුන්ගේ බැංකු ගිණුම් තොරතුරු සහ OTP අංක ලබාගෙන මුදල් සොරකම් කරන බවද හෙළිවී ඇත.
මෙවැනි පැමිණිලි රැසක් පොලිස් ස්ථානවලට ලැබී ඇති අතර, මෙම වංචා මහජනතාවගේ නොදැනුවත්කම හා අනවශ්‍ය විශ්වාසය මත සිදුවන බව පොලිසිය පවසයි.
මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධ විමර්ශනවලදී, ජාවාරම්කරුවන් අන්සතු බැංකු ගිණුම් යොදාගන්නා බවත්, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් යොදාගෙන ඔවුන්ගේ ජාතික හැඳුනුම්පත් භාවිතයෙන් නව ගිණුම් විවෘත කර මුදල් ගැනීමේ කාඩ්පත් ලබාගන්නා බවත් විමර්ශනවලින් හෙළිව ඇත.
මෙම ගිණුම් හා කාඩ්පත් යොදාගනිමින් ජාවාරම්කරුවන් තම කටයුතු කරගෙන යන බවත්, මෙවැනි බොහෝ ජාවාරම් විමර්ශන මඟින් අනාවරණය වී ඇතැයි නීති විරෝධී වත්කම් විමර්ශන ඒකකය පවසයි.
