අමාත්‍යවරුන්ට සහ රජයේ ආයතනවලට නොතීසි
මෙරට ඉඩම් කළමනාකරණය සඳහා ජාතික වැඩපිළිවෙළක් සකස් කිරීමට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සමක් සම්බන්ධයෙන් නොවැම්බර් 28 වැනිදා අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කරන ලෙස ඉඩම් අමාත්‍යවරයා, පරිසර අමාත්‍යවරයා ඇතුළු පාර්ශව කිහිපයකට අභියාචනාධිකරණය විසින් නොතීසි නිකුත් කර තිබේ.
මෙම පෙත්සම පරිසර යුක්ති කේන්ද්‍රය විසින් ඉදිරිපත් කර තිබුණි.
එම පෙත්සම අද (11) ධම්මික ගනේපොල සහ ආදිත්‍ය පටබැඳිගේ යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබිණි.
එහිදී පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රවීන්ද්‍රනාන් දාබරේ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින්, මෙරට ඉඩම් කළමනාකරණය සඳහා ජාතික සැලැස්මක් ක්‍රියාත්මක නොවීම හේතුවෙන් බරපතළ ගැටලු රැසක් ඇතිවී තිබෙන බව පෙන්වා දී ඇත.
කෘෂිකාර්මික කටයුතු, වනාන්තර, වගුරු බිම්, ජනාවාස ආදී අංශ සඳහා ඉඩම් වෙන්කිරීම සහ ඒවායේ සීමාවන් නිසි ලෙස හඳුනා නොගැනීම නිසා පාරිසරික හා වෙනත් අර්බුද රැසක් මතුව ඇති බව නීතිඥවරයා අවධාරණය කර තිබේ.
මේ හේතුවෙන් ඉඩම්වලින් උපරිම ප්‍රයෝජන ලබාගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බවද ඔහු පෙන්වා දී ඇත.
දූපත් රාජ්‍යයක් වන ශ්‍රී ලංකාවේ ඉඩම්වලින් උපරිම ප්‍රයෝජන ලබාගැනීම අත්‍යවශ්‍ය බවත්, විධිමත් ඉඩම් කළමනාකරණ සැලැස්මකින් තොරව ඵලදායි ඉලක්කවලට ළඟා වීමට නොහැකි තත්ත්වයක් ඇතිව තිබෙන බවත් නීතිඥවරයා සඳහන් කර ඇත.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල, ඉඩම් අමාත්‍යවරයා, පරිසර අමාත්‍යවරයා, වන ජීවී අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු වගඋත්තරකරුවන්ට නොවැම්බර් 28 වැනිදා අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස දන්වමින් නොතීසි නිකුත් කිරීමට නියෝග කළේය.