ලංකාවට තවත් ණය එපා - මේක ණය නෙවෙයි, ප්‍රදානයක්
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ නේවාසික නියෝජිත මාර්ක් ඇන්ඩ්‍රේ ෆ්‍රැන්ඩේ (Marc André Franche) මහතා මාධ්‍ය හමුවකදී අවධාරණයෙන් පැවසුවේ, දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවට ඉදිරි මාස 3-4 සඳහා කඩිනම් ජීවිතාරක්ෂක සහන සැපයීමට ඇමෙරිකානු ඩොලර් මිලියන 35.3ක් (ශ්‍රී ලංකා රුපියල් කෝටි 1,090ක් පමණ) අවශ්‍ය බවයි.
“මේ මුදල ණයක් නෙවෙයි. මේක සම්පූර්ණයෙන්ම ප්‍රදානයක් විදිහට ලැබෙනවා. ශ්‍රී ලංකාවේ ණය බරට එකතු වෙන්නේ නෑ”
යනුවෙන් ඔහු විශේෂ්ට ලෙස අවධාරණය කළේය.
දැනටමත් එක්සත් ජාතීන්ගේ සංවිධානයට මෙම අරමුදලට ඩොලර් මිලියන 9.5ක් (රු. කෝටි 300ක් පමණ) ලැබී ඇති අතර, ඉන් ඩොලර් මිලියන 4.5ක් UN හදිසි අරමුදලෙන් (CERF) ලැබුණු බවත් ඔහු සඳහන් කළේය.
මෙම මුදල යොදාගන්නේ යටිතල පහසුකම් අලුත්වැඩියාවට නොව, පීඩිත ප්‍රජාවන්ට:
ආහාර, පිරිසිදු ජලය, ඖෂධ, තාවකාලික නවාතැන්, ළමුන්ගේ අධ්‍යාපනය දිගටම කරගෙන යාමට උපකාර වැනි කඩිනම් ජීවිතාරක්ෂක අවශ්‍යතා සඳහා පමණක් බවත් ඔහු පැහැදිලි කළේය.
“මේ සහන ප්‍රමාද වුණොත්, ජනතාව රෝගවලට ගොදුරු වෙනවා. ළමයින්ගේ පාසල් කටයුතු මාස ගණනාවකින් ප්‍රමාද වෙනවා. පසුව ඒවා නැවත පටන් ගන්න රජයට ඊට වඩා දෙගුණයක මුදලක් වියදම් කරන්න වෙනවා. ඒක ඉතාම අපහසු වෙනවා”
යනුවෙන්ද ඔහු අවවාද කළේය.
එබැවින් ජාත්‍යන්තර ප්‍රජාවගෙන් සහ හවුල්කරුවන්ගෙන් මෙම ප්‍රදාන මුදල් කඩිනම්ව ලබාදෙන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉතා කාරුණිකව ඉල්ලා සිටී.