ආපදා කඳවුරුවල සිටින ළමුන්ගේ කිසිදු තොරතුරක් පිටස්තර පුද්ගලයින්ට ලබා දෙන්න එපා
ගංවතුර හා නායයෑම් නිසා විපතට පත් ළමුන්ගේ අධ්‍යාපනය, ආහාර, ආරක්ෂාව යන සියල්ල භාරගන්නා බව පවසමින් සමාජ මාධ්‍ය ඔස්සේ ව්‍යාජ පණිවුඩ සහ දැන්වීම් සංසරණය වෙමින් පවතින බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය අනතුරු ඇඟවීය.
අධිකාරියේ සභාපතිනි, නීතිඥ ප්‍රීති ඉනෝකා රණසිංහ මහත්මිය අවධාරණය කළේ, මෙවැනි වංචනික ක්‍රියාකලාපවලට කිසිසේත් රැවටෙන්න එපා බවයි.
"එවැනි ව්‍යාජ පුද්ගලයන් හෝ සංවිධාන හඳුනාගත් වහාම අපි දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා. ළමුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමේ සම්පූර්ණ වගකීමුත්තරකම රජය සතුයි. කිසිදු පෞද්ගලික පුද්ගලයෙකුට හෝ ආයතනයකට ළමුන් භාරගැනීමට නීතිමය අවසරයක් නැහැ"
යැයි ඇය පැවසුවාය.
එවැනි වංචාකාර ක්‍රියාකාරකම්වල නිරත වන පුද්ගලයන්, ආයතන හෝ සංවිධාන සම්බන්ධයෙන් අධිකාරිය විසින් දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් අවධාරණය කරන ඇය, එවැනි තොරතුරු දැනගන්නා සැණින් පැය 24 පුරා ක්‍රියාත්මක 1929 ළමා උපකාරක හදිසි දුරකථන සේවයට වහාම දන්වන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටියි.
දිවයිනේ දිස්ත්‍රික්ක 16ක සුරක්ෂිත මධ්‍යස්ථාන 878ක් පවත්වාගෙන යන අතර, පවුල් 27,145ක් සහ පුද්ගලයන් 86,040ක් මේ වන විට එම මධ්‍යස්ථානවල නවාතැන් ගෙන සිටිති. ගංවතුර හා නායයෑම් නිසා විපතට පත් ළමුන් මෙන්ම වැඩිහිටියන්ද තම සුපුරුදු ජීවිතයෙන් හා පරිසරයෙන් ඈත්ව ජීවත් වීමට බලකෙරී ඇති බවත් සභාපතිනිය සඳහන් කළාය.