කපිල මිය ගිය අරවින්දගේ නිවසේ CCTV දත්ත ගබඩා වෙලා නැහැ - විශේෂ හෙළිදරව්වක්
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරි කපිල චන්ද්‍රසේන මහතා සැකකටයුතු ලෙස මියගොස් සිටි හිටපු ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා මහතාට අයත් නිවසේ ආරක්ෂක කැමරා පද්ධතියේ දත්ත ගබඩා වී නොමැති බව කොළඹ අපරාධ කොට්ඨාසය අද (2026 මැයි 14) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.
මෙම මරණය සම්බන්ධයෙන් පැවැත්වෙන මහේස්ත්‍රාත් පරීක්ෂණයේ සාක්ෂි විමසීම අද දෙවැනි දිනටත් කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා ඉදිරියේ පැවැත්වුණු අතර එහිදී විමර්ශන නිලධාරීන් කියා සිටියේ අදාළ කැමරා පද්ධතිය ක්‍රියාත්මක මට්ටමේ පැවතියද එහි කිසිදු දත්තයක් පටිගත වී නොමැති බවයි.
මෙම විමර්ශනයට අදාළව මියගිය චන්ද්‍රසේන මහතාගේ බිරිඳට අයත් නිවසක් ඉකුත් 12 වැනිදා සෝදිසි කර ඇති අතර එහි තිබී ලැප්ටොප් පරිගණක දෙකක් සහ ලිපිගොනු කිහිපයක් නඩු භාණ්ඩ ලෙස පොලිස් භාරයට ගෙන තිබේ.
මරණකරු රැඳී සිටි නිවසට අදාළ සී.සී.ටී.වී දර්ශන විමර්ශනයට එක් කරගත නොහැකි වුවත්, ඒ අසල පිහිටි අනෙක් නිවාස දෙකක කැමරා පද්ධතිවලින් මැයි 06 සිට මැයි 08 දහවල් දක්වා වූ දර්ශන ලබාගෙන ඇති බව පොලිසිය අධිකරණයට පැවසීය.
නිවසට ඇතුළු වීමට සහ පිටවීමට ඇත්තේ එක් දොරටුවක් පමණක් බැවින්, ලබාගත් දර්ශන හරහා පුද්ගල ගමනාගමනය නිරීක්ෂණය කළ හැකි බව ද මෙහිදී අනාවරණය විය.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර සාක්ෂි විමසීම මැයි 19 වැනිදා දක්වා කල් තැබීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය. හිටපු ප්‍රධාන විධායක නිලධාරියෙකුගේ මරණය සහ ඊට ක්‍රිකට් සුපිරි තරුවකගේ නිවසක් සම්බන්ධ වීම හේතුවෙන් මෙම නඩුව කෙරෙහි මේ වන විට සමාජයේ දැඩි අවධානයක් යොමුව පවතී.