වැලිකඩදී මිය ගිය නිමේෂ් ගැන අධිකරණයෙන් දුන් නියෝග
වැලිකඩ පොලිස් අත්අඩංගුවේ සිටියදී මියගිය බව කියන නිමේෂ් සත්සර නමැති තරුණයාගේ මෘත දේහය මෙම මස 23 දින ගොඩ ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් මොහොමඩ් රිෂ්වාන් මහතා ඊයේ (17දා) අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන විමර්ශන අංශයට නියෝග කළේය.
අධිකරණය මඟින් ලබා දුන් නියෝගයක් අනුව එම තරුණයාගේ මෘත දේහය ගොඩගෙන යළි පශ්චාත් මරණ පරීක්‍ෂණයක් පැවැත්වීමට අවශ්‍ය ත්‍රිපුද්ගල විශේෂඥ වෛද්‍ය මණ්ඩලයක් පත්කර ඇති බැවින් මෙම මස 23 දින එම මෘත දේහය ගොඩ ගැනීමට නියෝගයක් ලබා දෙන ලෙසට කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා විසින් ඉල්ලීමක් කර ඇති බැවින් ඒ සඳහා නියෝගයක් ලබා දෙන ලෙසට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන විමර්ශන අංශයේ නිලධාරීන් කරන ලද කරුණු දැක්වීමක් සලකා බලමින් අධිකරණයෙන් එසේ නියම කෙරුණි.
එම තරුණයාගේ මෘත දේහය යළි ගොඩගෙන පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීම සඳහා ත්‍රිපුද්ගල විශේෂඥ වෛද්‍ය මණ්ඩලයක් පත් කිරීමට පියවර ගන්නා ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් කේමින්ද පෙරේරා මහතා ඉකුත් 09දා කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත කරන ලද නියෝගයක් අනුව එම ත්‍රිපුද්ගල වෛද්‍ය මණ්ඩලය පත්කර ඇති බවද විමර්ශන නිලධාරීන් අධිකරණයට දැන්වීය.
එම නියෝගය ප්‍රකාරව කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා විසින් පත් කරන ලද ත්‍රිපුද්ගල වෛද්‍ය කමිටුවේ නාමලේඛනය අදාළ විමර්ශන නිලධාරීන් විසින් ඊයේ අධිකරණය වෙත ඉදිරිපත් කළේය. ප්‍රධාන අධිකරණ වෛද්‍ය ප්‍රියන්ත අමරත්න, ජ්‍යෙෂ්ඨ විශේෂඥ අධිකරණ වෛද්‍ය පී.ආර්. රුවන්පුර හා ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය විශේෂඥ වෛද්‍ය මුදිත විදානපතිරණ යන වෛද්‍යවරුන් එම විශේෂඥ අධිකරණ වෛද්‍ය මණ්ඩලයේ සාමාජිකයන් ලෙස පත්කර ඇත.
එම තරුණයාගේ මියයෑම සම්බන්ධයෙන් අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා සිදුකර ඇති පශ්චාත් මරණ පරීක්‍ෂණය සම්බන්ධයෙන් සෑහීමකට පත්විය නොහැකි බැවින් එම මෘත ශරීරය නැවත ගොඩගෙන පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීම සඳහා ත්‍රිපුද්ගල විශේෂඥ වෛද්‍ය මණ්ඩලයක් පත් කිරීමට නියෝගයක් ලබා දෙන ලෙසට අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි සේනක පෙරේරා හා ශ්‍රී ලංකා නීතිඥ සංගමය වෙනුවෙන් පෙනී සිටි ලක්ෂාන් ඩයස් මහතා ඇතුළු නීතිඥවරුන් ඉකුත් නඩු වාරයේදී මෝසමක් ගොනු කරමින් පෙර නඩු වාරයේදී දැක්වූ කරුණු සැලකිල්ලට ගනිමින් මහෙස්ත්‍රාත්වරයා එම නියෝගය නිකුත් කර තිබිණි.
මෙම සිද්ධියේ මූලික විමර්ශන කොළඹ අපරාධ කොට්ඨාසය මඟින් සිදුකළ නමුත් වැඩ බලන පොලිස්පතිවරයාගේ දැනුම්දීම මත අප්‍රේල් මස 04 දින සිට එම විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙතට යොමු කර තිබේ.
එම තරුණයාගේ සිරුරේ කොටස් රජයේ රස පරීක්ෂකවරයා වෙත යවා වාර්තාවක් කැඳවීමටද අවශ්‍යය පියවර ගෙන ඇති අතර තරුණයාට පහර දුන් බවට සැක කරන පොලිසිය තුළදී සොයාගත් පොලු කැබැල්ලක් පොලිස් භාරයට ගෙන ඇති බවද ඊට අමතරව තරුණයාගේ මුදල් පසුම්බිය හා ඔහුගේ ජංගම දුරකථනය නඩු භාණ්ඩ වශයෙන් අධිකරණයට ඉදිරිපත් කර ඇති බවද විමර්ශන නිලධාරීන් අධිකරණයට දැන්වීය.

කට්ටිය හොඳටම කලබල වෙලා! - කව්රු මොනවා කිව්වොත් පාස්කු ප්‍රහාරට පිල්ලෙයාන් සම්බන්ධයිලූ.. - ඇමති සහතික දෙයි!
මියගිය තරුණයාගේ දේහය බදුල්ල ප්‍රදේශයේ මිහිදන් කර ඇති අතර මෘත දේහය ගොඩගන්නා අවස්ථාවේදී ඒ හා සම්බන්ධ ආරක්ෂාව සැලසීමට අවශ්‍ය නියෝගයන් සඳහා සහාය ලබාදෙන ලෙසද මහෙස්ත්‍රාත්වරයා බදුල්ල මහෙස්ත්‍රාත්වරයා වෙත දැනුම් දෙනු ලැබීය.
