පූජ්‍ය පල්ලේගම හේමරතන හිමිගේ අටමස්ථානාධිපති ධූරය අත්හිටුවයි - නව තනතුරට පූජ්‍ය ඊතල වැටුණුවැවේ ඤානතිලක හිමි
අනුරාධපුර ඓතිහාසික අටමස්ථානාධිපති ධුරයේ වැඩකටයුතු අඛණ්ඩව සහ විධිමත්ව ඉදිරියට කරගෙන යාම සඳහා උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක මෙන්ම රුවන්වැලි චෛත්‍යාරාමාධිකාරි පූජ්‍ය ඊතලවැටුණුවැවේ ඥානතිලක නායක ස්වාමීන් වහන්සේව තාවකාලිකව එම ධුරයට පත් කිරීමට අටමස්ථාන කමිටුව තීරණය කර ඇති බව මල්වතු මහා විහාරය අද (30) නිල වශයෙන් නිවේදනය කළේය.
මල්වතු මහා විහාර පාර්ශ්වයේ ලේඛකාධිකාරී, ආචාර්ය පූජ්‍ය පහමුණේ සුමංගල නායක හිමියන්ගේ සෘජු අත්සනින් යුතුව මෙම විශේෂ නිවේදනය මාධ්‍ය වෙත නිකුත් කර තිබේ.
මල්වතු මහා විහාර පාර්ශ්වයේ නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක සහ වත්මන් අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නායක හිමියන් සම්බන්ධයෙන් මෑතකදී එල්ල වී ඇති විවිධ චෝදනා පදනම් කරගනිමින් මේ වන විට විශේෂ අධිකරණ ක්‍රියාමාර්ගයක් ක්‍රියාත්මක වෙමින් පවතියි.
එම අදාළ නීතිමය විමර්ශන සහ අධිකරණ කටයුතු සම්පූර්ණයෙන්ම අවසන් වී, ඒ පිළිබඳව අවසන් ස්ථිර තීරණයක් අධිකරණයෙන් ලැබෙන තෙක් පමණක් සලකා බලා පූජ්‍ය ඊතලවැටුණුවැවේ ඥානතිලක නාහිමියන්ව මෙම තනතුරේ කටයුතු ආවරණය කිරීම සඳහා පත්කළ බව මල්වතු මහා විහාරය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.