අතිපූජ්‍ය නිකපොත චන්ද්‍රජෝති නාහිමියෝ උඩරට අමරපුර මහා නිකායේ මහානායක ධුරයෙන් පිදුම් ලබති
මහා විහාරවංශික උඩරට අමරපුර මහා නිකායේ මහානායක ධුරයෙන් පිදුම් ලැබූ කෝට්ටේ මාදිවෙල ශ්‍රී ඥානානන්ද බෞද්ධ මධ්‍යස්ථානය සහ හපුතලේ නිකපොත සුභද්‍රාරාම පිරිවෙන් මහා විහාරය ඇතුළු විහාර ගණයේ අධිපති, ශ්‍රී රතනජෝති වංශාලංකාර සද්ධර්මවාගීශ්වර ශාස්ත්‍ර විශාරද පණ්ඩිත මහෝපාධ්‍යාය අතිපූජ්‍ය නිකපොත චන්ද්‍රජෝති මහානාහිමිපාණන් වහන්සේ වෙත සන්නස් පත්‍ර ප්‍රදානය කිරීමේ රාජ්‍ය උත්සවය මැයි 17 වන දින පැවැත්විණි.
මෙම උත්සවය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ සහභාගීත්වයෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි.
මහා විහාරවංශික ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක අතිපූජ්‍ය කරගොඩ උයන්ගොඩ මෛත්‍රීමූර්ති මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම පුණ්‍ය මහෝත්සවයේදී සන්නස් පත්‍රය ගෞරව පූර්වකව ප්‍රදානය කෙරිණි.

මෙම අවස්ථාවට බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා, මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල මහතා ඇතුළු මැති ඇමතිවරු, බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්, රාජ්‍ය නිලධාරීන් සහ දායක දායිකාවන් විශාල පිරිසක් සහභාගී වූහ.
ත්‍රෛනිකායික මහා සංඝරත්නයේ ආශිර්වාද මැද පැවති මෙම උත්සවය, ශ්‍රී ලාංකීය බෞද්ධ සම්ප්‍රදායේ ගෞරවනීය අවස්ථාවක් ලෙස සටහන් විය.


