නැදුන්ගමුවේ රාජා හස්තියා ගැන අලුත්ම ආරංචිය මෙන්න..
සංරක්ෂණය කිරීම සඳහා සුදුසු ස්ථානයක් සොයා ගැනීමට නොහැකි වීම හේතුවෙන් නැදුන්ගමුවේ විජයරාජා හස්තියාගේ චර්මය වසරකුත් මාස හතරක් තිස්සේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තු අධිශිතකරණයක තැන්පත් කර තැබීමට සිදුව ඇති බව වාර්තා වනවා.
මෙම හස්තියා ජීවිතක්ෂයට පත් වූයේ පසුගිය වසරේ මාර්තු මස 7 වැනිදා ය.
මහනුවර ඓතිහාසික ඇසළ පෙරහර මංගල්‍ය යේ කරඬුව වැඩම කරවීමට දායක වූ මෙම හස්තියාගේ සිරුර සංරක්ෂණය කිරීමට තීරණය කිරීමෙන් පසු හස්තියාගේ දේහයෙන් චර්මය ඉවත් කර ඇත්තේ 2022 මාර්තු මස 16 වැනිදා ය.
සංරක්ෂණ කටයුතු වෙනුවෙන් දළදා මාලිගාවෙන් රුපියල් තුන් ලක්ෂ හැත්තෑ පන් දහසක පමණ මුදලක් සහ කෞතුකාගාර දෙපාර්තමේන්තුව රුපියල් තුන් ලක්ෂයකට ආසන්න මුදලක් ද මේ වන විට වැය කර ඇති බවයි වාර්තා වන්නේ.
ඊට අමතරව දෙපාර්තමේන්තු වියදම් සඳහා තවත් රුපියල් දොළොස් ලක්ෂයකට ආසන්න මුදලක් දළදා මාලිගාවෙන් ලබා දී තිබෙන බව පැවසෙනවා.
ඇතාගේ සිරුර සංරක්ෂණය කිරීම සඳහා සුදුසුම ස්ථානය ලෙස තෝරාගෙන තිබී ඇත්තේ කෞතුකාගාර දෙපාර්තමේන්තුවට අයත් ලක්සල ආයතනයට බදු පදනම මත ලබා දී තිබෙන ගොඩනැගිල්ලකි.
ඒ අනුව එම ගොඩනැගිල්ලේ භාණ්ඩ ඉවත් කර ගැනීමට මීට වසරකට පමණ පෙර දැනුම් දී තිබෙන නමුත් මේ දක්වා එම ගොඩනැගිල්ල කෞතුකාගාර දෙපාර්තමේන්තුවට භාර දී නැත.
මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකට පිළිතුරු දුන් කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් තනූජා සමරසිංහ මහතා පැවසුවේ, මෙම ගොඩනැගිල්ල ලැබෙනු ඇති බවට තවදුරටත් අපේක්ෂාවක් නොමැති බවත් දෙපාර්තමේන්තුවට අයත් ස්වාභාවික විද්‍යා ගොඩනැගිල්ලේ ස්ථානයක හස්තියා සංරක්ෂණය කිරීමට තීරණය කර තිබෙන බවයි.
සංරක්ෂණ කටයුතු සඳහා මාස හයකට වැඩි කාලයක් ගතවනු ඇතැයිද අධ්‍යක්ෂ ජනරාල්වරිය වැඩිදුරටත් සඳහන් කළා.
මෙම හස්තියාගේ සංරක්ෂණ කටයුතු කල් ගත වීම සම්බන්ධයෙන් ජාතික විගණන කාර්යාලයෙන් ද පරීක්ෂණයක් පවත්වා තිබෙන අතර එම පරීක්ෂණ වාර්තාවේ සඳහන් වන්නේ මෙම ප්‍රමාදය නිසා හස්ති චර්මයේ ගුණාත්මකභාවය කෙරෙහි ද අවදානමක් පවතින බව ය.
එවැනි අවදානමක් මෙතෙක් ඇති වී නැතැයි ද අධ්‍යක්ෂ ජනරාල්වරිය සඳහන් කළාය.
නැදුන්ගමුවේ හස්තියා ජීවිතක්ෂයට පත් වන විට වයස අවුරුදු 69ක්.
