'ගොඩනඟමු අධිෂ්ඨානයේ සංහිඳ' ජාතික වැඩසටහන ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹෙයි

Report

මධ්‍ය කඳුකරය ආරක්ෂා කරගැනීම වෙනුවෙන් මේ වසරේදි විශේෂ අධිකාරියක් පිහිටුවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සදහන් කර තිබේ.

මෙරටට බලපෑ දිට්වා සුළි කුණාටුවෙන් හානියට පත් ආගමික සිද්ධස්ථාන කඩිනමින් ප්‍රතිසංස්කරණය කිරීම වෙනුවෙන් රජය ක්‍රියාත්මක කරන 'ගොඩනඟමු අධිෂ්ඨානයේ සංහිඳ' ජාතික වැඩසටහනේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සදහන් කර  ඇත .

එම වැඩසටහන අද (27) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ගම්පොළ දොරගල ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේදී පවත්වා තිබේ.

  ඒ අනුව ජනපතිවරයා සඳහන් කළේ එම අධිකාරියට, කෘෂි කර්මාන්ත, වාරිමාර්ග, වනජිවී වන සංරක්ෂණ කටයුතු සම්බන්ධයෙන් හා යළි පදිංචි කිරීම් යන සියලුම සැලසුම් නිර්මාණය කිරීම සඳහා බලය ලබා දෙන බවයි.

ඒ වගේම මේ හරහා පූර්ණ රැකවරණය හා බලය ලබා දෙන ශක්තිමත් නීතියක් සකස් කිරීමට භාර දී තිබෙන බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබේ.

   තවද ඒ සඳහා ආසියානු සංවර්ධන බැංකුවේ සහාය අපේක්ෂා කරන බවත් ඒ අනුව මධ්‍ය කඳුකරය මුළුමුනින්ම එම අධිකාරිය විසින් බලා ගත යුතු අතර ක්‍රියාත්මක කරන සියලු සැලසුම් සඳහා එම අධිකාරියෙන් අවසර ගත යුතු බවද ජනාධිපතිවරයා සඳහන් කරයි.

ජනාධිපතිවරයා තව දුරටත් සදහන් කර ඇත්තේ එම සැලසුම් හා උපාය මාර්ග කුමන හෝ තැනක බිඳ වැටෙන්නේ නම් ඒ සඳහා දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට හැකි වන පරිදි බලය ලබා දෙමින් එම අධිකාරිය පිහිටුවන බවයි.