දේශපාලන බලපෑමකින් තොරව සෞඛ්‍ය කාර්ය සහායකයින් බඳවාගත් හැටි ඇමති නලින්ද හෙළිකරයි

Report

සෞඛ්‍ය කාර්ය සහායක තනතුර සඳහා බඳවාගත් 627 දෙනෙකුට පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ උත්සවය අද (04) පෙරවරුවේ මරදාන ටවර් හෝල් පරිශ්‍රයේදී පැවැත්විණි.

මෙම පිරිස බස්නාහිර පළාතේ කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවල මධ්‍යම රජයට අයත් රෝහල් සහ සෞඛ්‍ය ආයතන වෙත අනුයුක්ත කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. උත්සවය අමතමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, මෙම බඳවා ගැනීම මෙරට සෞඛ්‍ය සේවා ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයක් බවයි.

දේශපාලන මැදිහත්වීමකින් තොරව, ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණ ක්‍රමවේදය මත පමණක් පදනම්ව සිදුකෙරුණු පළමු සෞඛ්‍ය කාර්ය සහායක බඳවා ගැනීම මෙය බවද ඔහු පැවසීය.

අතීතයේ සෞඛ්‍ය කාර්ය සහායකයින්, පාසල් මුරකරුවන්, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සහ දුම්රිය දෙපාර්තමේන්තුව ඇතුළු රාජ්‍ය සේවයේ බඳවා ගැනීම් දේශපාලන නිර්දේශ මත සිදුවූ බව සිහිපත් කළ අමාත්‍යවරයා, වත්මන් රජය එම ක්‍රමවේදය සම්පූර්ණයෙන්ම වෙනස් කර විනිවිදභාවය, සාධාරණත්වය සහ සුදුසුකම් මත පදනම් වූ බඳවා ගැනීමේ ක්‍රමයක් ස්ථාපිත කර ඇති බව සඳහන් කළේය.

පසුගිය වසරේ දෙසැම්බර් 8 වැනිදා පළ කළ පුවත්පත් දැන්වීමට අයදුම්පත් 91,473ක් ලැබී තිබූ අතර, මූලික සුදුසුකම් සම්පූර්ණ නොකිරීම හේතුවෙන් අයදුම්පත් 2,737ක් ප්‍රතික්ෂේප කර තිබේ. ඉතිරි සුදුසුකම් ලැබූ අයදුම්කරුවන් 88,736 දෙනා අතරින් මෙම පළමු කණ්ඩායම තෝරාගෙන ඇත.

මෙම බඳවා ගැනීම කිසිදු දේශපාලන ලැයිස්තුවක් හෝ බාහිර බලපෑමක් නොමැතිව, නියමිත සුදුසුකම් සහ විධිමත් තේරීම් ක්‍රියාවලියක් මත සිදුකළ බව අමාත්‍යවරයා අවධාරණය කළේය.

එය රාජ්‍ය සේවය දේශපාලනීකරණයෙන් මුදා ගැනීමේ රජයේ ප්‍රතිපත්තිය ප්‍රායෝගිකව ක්‍රියාත්මක වන ආකාරය පෙන්නුම් කරන වැදගත් අවස්ථාවක් බවද ඔහු සඳහන් කළේය. සෞඛ්‍ය සේවාවේ ගෞරවනීය කාර්යභාරයක් ඉටු කිරීමට වෘත්තීයභාවය, කැපවීම සහ විනය අත්‍යවශ්‍ය බව පැවසූ අමාත්‍යවරයා, සෞඛ්‍ය සේවකයන්ගේ විනය, වගකීම සහ වෘත්තීය ආචාරධර්ම සම්බන්ධයෙන් කිසිදු ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය නොකරන බවද ප්‍රකාශ කළේය.

නව සෞඛ්‍ය කාර්ය සහායකයින් සඳහා ලබන 7, 8 සහ 9 යන දිනවල විශේෂ න්‍යායික හා ප්‍රායෝගික පුහුණු වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති අතර, එය සොයිසා කාන්තා රෝහල, රිජ්වේ ආර්යා ළමා රෝහල, කාසල් වීදිය කාන්තා රෝහල සහ කොළඹ ජාතික රෝහලේදී පැවැත්වීමට නියමිතය.

මෙම බඳවා ගැනීම මඟින් රෝහල් පද්ධතියේ පවතින සෞඛ්‍ය කාර්ය සහායක හිඟය සැලකිය යුතු ලෙස අවම වනු ඇති බවත්, ජනතාවට කාර්යක්ෂම, වේගවත් සහ මානුෂීය සෞඛ්‍ය සේවාවක් ලබාදීම සඳහා අවශ්‍ය මානව සම්පත් තවදුරටත් ශක්තිමත් කිරීම රජයේ අපේක්ෂාව බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන, අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන්, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරුන් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

රාජ්‍ය සේවය ඩිජිටල් කරමින් සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරියේ නව වෙබ් අඩවිය එළිදැක්වේ

රාජ්‍ය සේවය ඩිජිටල් කරමින් සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරියේ නව වෙබ් අඩවිය එළිදැක්වේ

ETF මුදල් ගෙවීමේ වෙනසක් - සේවක අර්ථසාධක මණ්ඩලයෙන් විශේෂ නිවේදනයක් - ආයතනයේ සේවකයින් 15 කට වැඩිනම් ඉස්සරහට මේකයි වෙන්නේ

ETF මුදල් ගෙවීමේ වෙනසක් - සේවක අර්ථසාධක මණ්ඩලයෙන් විශේෂ නිවේදනයක් - ආයතනයේ සේවකයින් 15 කට වැඩිනම් ඉස්සරහට මේකයි වෙන්නේ