නායයෑමේ බියෙන් ගැහෙමින් සිටි වතු ප්‍රජාවට නව බලාපොරොත්තුවක් සමග නිවාස ව්‍යාපෘතිය වැලිමඩින් ඇරඹෙයි
නායයෑමේ අධි අවදානම් කලාපවල ජීවත්වන වතු ප්‍රජාවට සුරක්ෂිත නිවාස පහසුකම් සැලසීමේ අරමුණින් ක්‍රියාත්මක වන “මලෛයග මහිච්චි” වැඩසටහන යටතේ නව නිවාස ව්‍යාපෘතියක් සඳහා මුල්ගල තැබීම අද (04) වැලිමඩ බෝව වත්තේදී වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
“පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” යන රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශයට සමගාමීව ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණ වන්නේ, දීර්ඝ කාලයක් නායයෑමේ අවදානම හේතුවෙන් පීඩාවට පත්ව සිටින වතු ජනතාවට සුරක්ෂිත හා ගෞරවනීය ජීවිතයක් උරුම කරදීමයි.
වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ ප්‍රතිපාදන මත ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය යටතේ බදුල්ල දිස්ත්‍රික්කයේ වැලිමඩ බෝව වත්ත ප්‍රදේශයේ නායයෑමේ අවදානමට ලක්ව සිටින පවුල් 19ක් සඳහා ස්ථිර නිවාස 19ක් ඉදිකිරීමට නියමිතය.
එක් නිවාස ඒකකයක් සඳහා රජය විසින් රුපියල් ලක්ෂ 28ක මුදලක් වෙන් කර ඇති අතර, යටිතල පහසුකම් සංවර්ධනය සඳහා තවත් රුපියල් ලක්ෂ 4ක් බැගින් වෙන් කර තිබේ.
මෙම අවස්ථාවට වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ ලේකම්වරයා, බදුල්ල දිස්ත්‍රික් ලේකම් සුනිල් ගලගම මහතා, වැලිමඩ ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ ප්‍රතිලාභී ජනතාව විශාල පිරිසක් එක්ව සිටියහ.