වැඩිහිටි දීමනාව මාස දෙකකින් නැහැ - උසස් පෙළ දරුවන්ගේ විෂය නිර්දේශය සම්පුර්ණ නැහැ - උපාධිධාරීන්ට රැකියා දෙනවා කිව්වා - මන්ත්‍රී දයාසිරිගෙන් ඇවිලුණු පාර්ලිමේන්තුව

Report

 සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසුවේ වැඩිහිටි දීමනාව මාස දෙකකින් ලබාදී නැති බවයි. වැඩිහිටියන්ගේ ඉතුරුම්වලට වැඩි කළ සියයට තුනද දැන් නොලැබෙන බව ඔහු සඳහන් කළේය.

මන්ත්‍රීවරයා මෙසේ පැවසුවේ සමථකරණ සහ සිවිල් හා වාණිජ ආරවුල් සංශෝධිත පනත් කෙටුම්පත සහ සාපරාධී කාරණාවලදී අන්‍යෝන්‍ය සහාය දැක්වීමේ පනත යටතේ නියමය පිළිබඳ විවාදයේදීය.

දයාසිරි ජයසේකර මහතා මෙසේද පැවසීය.

රවී සෙනවිරත්න සහ ශානි අබේසේකරගේ දේශපාලන සම්බන්ධකම් ගැන රටම දන්නවා. ඔවුන් පත් කළේ කතෝලික සභාවේ ඉල්ලීම අනුව කියලා සභානායක බිමල් රත්නායක මෙතන ඉඳලා කිව්වා. ඒ දෙන්නම ශ්‍රේෂ්ඨාධිකරණයේ දිවුරුම් දීලා තියෙනවා, ජාතික ජන බලවේගයේ ක්‍රියාකාරී දේශපාලනය කරන අය කියලා. විශ්‍රාම ගියාට පස්සේ ඒක කරන්න පුළුවන්. ගැටළුවක් නැහැ. ජාතික ජනබලවේගයේ වැඩ කරන ගමන් දේශපාලනිකව විශ්‍රාම ගිය කට්ටිය ගෙනල්ල අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ කරලා. එතකොට ඒක දේශපාලනීකරණය කරලා. ලංකා ඉතිහාසයේ කිසිම දවසක මෙහෙම දෙයක් වෙලා නෑ. මේ ප්‍රහාරය වළක්වා ගැනීමට හැකියාව තියෙද්දී මේ දෙන්නා මේ ක්‍රියාවලිය කළේ නැහැ කියලා විශ්‍රාමික ඩීඅයිජී පාලිත සිරිවර්ධන මහතාගේ ලිපියේ තියෙනවා. ඒ සිද්ධියට අත්අඩංගුවට ගැනීම වළක්වා ගන්න මේ දෙන්නා ශ්‍රේෂ්ඨාධිකරණයට ගියා. එතනදි ගත්ත නියෝගය අනුව තමයි මේ දෙන්නා දැන් ඉන්නේ. එහෙම ඉන්න දෙන්න තමයි පාස්කු ඉරුදින ප්‍රහාරය ගැන පරීක්ෂණ කරන්නෙ. මේ ප්‍රහාරය ගැන ස්වාධීන පරීක්ෂණයක් ක්‍රියාත්මක කරන්න. 

අද ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියාචනාධිකරණයේ විනිසුරුවරුන් පත් කරන්නේ නෑ. ඇයි මේ තනතුරු පුරවන්නේ නැත්තේ. මාස හයක්. මේක ජනාධිපතිතුමාගේ සම්පූර්ණ වගකීම. හැබැයි ඒක වෙන්නේ නැහැ. මෙය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක්. ඊළඟ නඩුවල තීන්දු එක්කද මේ අය පත් කරන්න හදන්නේ කියන ප්‍රශ්නය අපිට තියෙනවා. අද ශෂී වීරවංශ ඇතුළට දානවා. මහාධිකරණයෙන් ඒ අයට වුවමනා අය හිරේට දැම්මට පස්සෙද උසස්වීම් දෙන්නේ. ඒක තමයි මෙතන තියෙන සැකය. විනිසුරුවරුන් පත් කරපු නැති එකෙන් නඩු කටයුතු ප්‍රමාද වෙන්නේ නැද්ද?. ඒ අය ගෙනාවම නේද නඩු කටයුතු ඉක්මන් වෙන්නේ. මේ සම්බන්ධව බලන්න කියලා මම ඉල්ලීමක් කරනවා. අපොස උසස් පෙළ අගෝස්තු දහය තියන්න යනවා. සිලබස් එක කවර් කරගන්න අවස්ථාව නැහැ. දෙවැනි පාර ලියන අයට මාස හතරයි. මේක විශාල අර්බුදයක්. මොකක්ද ඇතිකරලා තියෙන සාධාරණය. විශ්ව විද්‍යාලවලින් එළියට ආපු උපාධිධාරීන් විශාල ප්‍රමාණයක් ඉන්නවා. ඇමතිවරුන් පොරොන්දු දුන්නා මේ අය බඳවා ගන්නවා කියලා. විභාග දෙකක් තිබ්බා. සියයට 70 ක් ගන්නවා සංවර්ධන නිලධාරීන් . ඒක හොඳයි. ඉතිරි වන 16000 ගන්න බැරි වුණේ ඇයි. හයදාහයි ගන්නේ. 2700 ගාණේ එක් අයෙකුගෙන් ගත්තා. රුපියල් කෝටි හතළිස් හතක්. ඒක ඉතාම අසාධාරණයි. දුප්පත් දරුවන්ගෙන් එකතු කරගත්තේ. මේ සම්බන්ධයෙන් නිවැරදි ක්‍රියාමාර්ගයක් ගන්න. මේ ගැන ආණ්ඩුවේ ප්‍රතිචාරය බලාපොරොත්තු වෙනවා.