මටයි පවුලටයි මොනවා හරි වුණොත් වගකීම ගන්න බලන් ඉන්න - රෝහණ බණ්ඩාර පොලිස්පතිට සැර දායි
තමාට එල්ල වී ඇති ජීවිත තර්ජන සම්බන්ධයෙන් නිසි ආරක්ෂාව ලබාදීමට පොලිසිය කටයුතු නොකිරීම හේතුවෙන් මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමටත්, අන්තර් පාර්ලිමේන්තු සංගමයටත්(IPU) පැමිණිලි කිරීමට තීරණය කළ බව සමගි ජන බලවේගයේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර පවසයි.
ඒ අනුව මන්ත්‍රීවරයා සඳහන් කළේ තමාට ජීවිත තර්ජන ඇති බවට පොලිස්පතිවරයා මුලින් සඳහන් කළත් පසුව ඒ සම්බන්ධයෙන් නිසි පියවර ගැනීමට ක්‍රියාකර නොමැති බවයි.
ඒ අනුව ඔහු පැවසුවේ තමාට ජීවිත තර්ජන ඇති බවට බුද්ධි අංශ වාර්තා මඟින් තොරතුරු ලැබී තිබෙන බවට පොලිස්පතිවරයා මුලින්ම දැනුම් දුන් බවයි.
අනතුරුව ඊට නිසි ප්‍රතිචාර නොදක්වා තමාට එල්ල වී ඇති තර්ජන සම්බන්ධයෙන් ආරක්ෂාව ලබාදීම ගැන කැබිනට් මණ්ඩලයෙන් අනුමැතිය එනතුරු සිටින බව පොලිස්පතිවරයා සඳහන් කර ඇතත් කෙනෙකුගේ ආරක්ෂාව සඳහා ඉක්මන් තීරණ ගත යුතු අවස්ථාවක ඒ ආකාරයට මන්දගාමීව ක්‍රියා කිරීම ගැටලු සහගත බව ඔහු පවසයි.
එසේම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා තවදුරටත් සඳහන් කළේ, මට එල්ල වී ඇති තර්ජනය පක්ෂ අභ්‍යන්තරයේ ගැටලුවක් නිසා එය පක්ෂ අභ්‍යන්තරයේ විසඳා ගත යුතු බවට පොලිස්පතිවරයා සමගි ජන බලවේගයේ මහලේකම්වරයාට දැනුම් දී ඇති බවත් එය අසාධාරණ දැනුම් දීමක් බවයි.
තමාගේ ආරක්ෂාවට නිසි ප්‍රතිචාර නොදක්වා තමාගේ ආරක්ෂාව හෑල්ලූවට ලක් කිරීමට පොලිස්පතිවරයා ක්‍රියා කර ඇති බවත් ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටළුවක් පවතිනවා නම් එය දේශපාලන භේදයකින් තොරව විසඳාගැනීමට කටයුතු කිරීම රජයේ වගකීම බවද ඒ අනුව රෝහණ බණ්ඩාර මහතා ප්‍රකාශ කරයි.
තවද තමාට ආරක්‍ෂාව ලබාදීමට නොහැකි නම් ඒ සම්බන්ධයෙන් තමාට ලිඛිතව දැනුම් දෙන මෙන් ද ඔහු පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටියි.
ඒ හේතුවෙන් තමාගේ ජීවිතයට හෝ තමාගේ දරු පවුලට යම්කිසි ගැටලුවකට මුහුණ දීමට සිදුවුවහොත් ඒ පිළිබඳව වත්මන් ආණ්ඩුවත් පොලිස්පතිවරයාත් පාර්ලිමේන්තුවේ කථානායකවරයත් වගකිවයුතු බවද රෝහණ බණ්ඩාර දැනුම් දෙයි.
විශේෂයෙන්ම පළාත් පාලන මැතිවරණයේදී කැබිතිගොල්ලෑව සහ මැදවච්චිය පළාත් පාලන ආයතනවල බලය ඒකාබද්ධ විපක්ෂයට හිමි කර ගැනීමට තමා මැදිහත් වූ අවස්ථාවේදී ජීවිත තර්ජන එල්ල වුණු බවත් එබැවින් මෙම ජීවිත තර්ජන එල්ලවීම හා තමාට ආරක්‍ෂාව ලබා නොදීම සම්බන්ධයෙන් වර්තමාන ආණ්ඩුව වගකිවයුතු බවද රෝහණ බණ්ඩාර මන්ත්‍රීවරයා වැඩිදුරටත් පවසයි.