මත්ද්‍රව්‍ය සිද්ධියට හසුවූ චීවරධාරීන්ට සිවුර අතහරිනයැයි ඉල්ලීමක්
තායිලන්තයේ සිට මෙරටට මත්ද්‍රව්‍ය රැගෙන ඒමේ සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතව සිටින චීවරධාරීන් 23 දෙනාට ස්වේච්ඡාවෙන් උපැවිදි වන ලෙස ත්‍රෛනිකායික ලේඛකාධිකාරී හිමිවරුන් ඉල්ලීමක් කර තිබේ.
අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී, ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් පවසා සිටියේ, සසුනට සිදුවන අපකීර්තිය වැළැක්වීම සඳහා මෙම යෝජනාව ඉදිරිපත් කළ බවයි.
එම චීවරධාරීන් අධිකරණය හමුවේ නිර්දෝෂී වුවහොත් ඔවුන්ට නැවත පැවිදි වීමට අවසර ලබා දෙන බව ද උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළහ. මෙම අදහස් පළ කෙරුණේ මහඔය ජිනරතන ස්වාමීන් වහන්සේ වෙනුවෙන් ඊයේ (15) පැවති පිළිගැනීමේ පුණ්‍යෝත්සවයක් අමතමිනි.
ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමි,
"අපේ සංඝ සමාජය හැටියට අපිට විශාල අර්බුදයක්, කොහොමද මේ වැරදි කරන පුද්ගලයෝ සසුනෙන් නෙරපන්නේ කියන එක. ඊයේ පෙරේදා යම් සිද්ධියකට මුහුණ දුන් 23 දෙනෙක් සිරගතව ඉන්නවා. ජනාධිපතිතුමාත්, නීතිපතිතුමාත් එක්ක සාකච්ඡා කරලා ත්‍රෛයිනියාකිය ලේඛකාධිකාරී හාමුදුරුවරු එම 23 දෙනා හමුවීමට ගිහින් සාකච්ඡා කළා. ඔබ වහන්සේලාගේ කටයුතුවලින් ශාසනයට විශාල අපවාදයක්...මේ රටට පමණක් නෙමෙයි ජාත්‍යන්තර වශයෙනුත් අපිට සිද්ධ වෙලා තිබෙනවා කියා දැනුම්දුන්නා. ඒ නිසා කැමැත්තෙන් සිවුරු අරින්න, නිර්දෝෂී වුණොත් ආපහු ඔය විදිහටම පැවිදි කරන්නන්. සිවුර දරාගෙන ඔළුව වහගෙන පෝලිම් ගැහිලා අධිකරණයට යන්න ගියහම බෞද්ධයෝ කලකිරෙනවා කියලා දැනුම්දුන්නා. එතන හතර පස් දෙනෙක් කැමති වුණේ නෑ. එතන සාමණේර අය බොහෝ පිරිසක් සිටියේ. ඉතින් ඒ අය යම් පෙළඹවීමකට ගොදුරු වී තිබූ බවයි අපිට දැනුනේ"
යැයි උන් වහන්සේ පැවසූහ.