සමාජ මාධ්‍ය උණුසුම් කරමින් බන්ධනාගාර අධීක්ෂණ කමිටුවට ස්ටෙෆනි පත්වෙයි
අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා විසින් බන්ධනාගාර පද්ධතියේ අධීක්ෂණ කටයුතු විධිමත් කිරීම සඳහා පත් කර ඇති විශේෂ කමිටුවේ සාමාජිකාවක් ලෙස ප්‍රකට නිරූපිකාවක් වන ස්ටෙෆනි සිරිවර්ධන මහත්මිය පත් කර තිබේ.
මෙම පත්වීමත් සමඟ සමාජ මාධ්‍ය ජාල තුළ විවිධ මතවාද මතු වෙමින් පවතී. ස්ටෙෆනි සිරිවර්ධන මෙරට කලා ක්ෂේත්රයේ ප්‍රසිද්ධ චරිතයක් වන අතර, ඇය 2011දී ශ්‍රී ලංකා රූ රැජින හා 2013දී ආසියානු රූ රැජින ලෙස කිරුළ දිනාගත් තැනැත්තියකි. මෙරට ප්රමුඛ රූපවාහිනී නාලිකාවල ඉංග්‍රීසි හා සිංහල මාධ්‍ය නිවේදිකාවක ලෙස කටයුතු කරන ඇය නිරූපණ ක්ෂේත්රයේ ද දක්ෂතා දක්වන්නියකි.
බන්ධනාගාර වැනි සංකීර්ණ ආයතනයක අධීක්ෂණ කටයුතු සඳහා කලා ක්ෂේත්රයේ නිරූපිකාවක පත් කිරීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය පරිශීලකයින් අතර පක්ෂ සහ විරුද්ධ මත දෙපාර්ශ්වයෙන්ම මතු වෙමින් තිබේ.
එක් පිරිසක් පවසන්නේ, බන්ධනාගාර පද්ධතිය වැනි විෂය ක්ෂේත්රයක විශේෂඥ දැනුම, නීතිමය අත්දැකීම් හෝ සිරකරුවන්ගේ අයිතිවාසිකම් පිළිබඳ ගැඹුරු අවබෝධයක් ඇති පුද්ගලයින් මෙවැනි කමිටුවලට පත් කළ යුතු බවයි. ඔවුන්ගේ මතය වන්නේ මෙවැනි පත්වීම් තුළින් බරපතල ආයතනයක කටයුතු සැහැල්ලු ලෙස සැලකෙන බවයි.
කෙසේ වෙතත්, තවත් පිරිසක් මෙම පත්වීමට සම්පූර්ණයෙන්ම සහය දක්වමින් පෙන්වා දෙන්නේ, බන්ධනාගාර ප්‍රතිසංස්කරණ සඳහා නව මානයක් එකතු කිරීමට ක්ෂේත්රයෙන් බැහැර පුද්ගලයින්ගේ සහභාගීත්වය ඉතා වැදගත් බවයි. ඔවුන්ගේ මතය වන්නේ ස්ටෙෆනි සිරිවර්ධන වැනි පුද්ගලයෙකුට මානුෂීය දෘෂ්ටිකෝණයකින් බලන නව පරම්පරාවේ නියෝජිතයෙකු ලෙස සිරකරුවන්ගේ මානසික සෞඛ්‍යය, සුභසාධනය හා සමාජයට නැවත ඒකාබද්ධ වීමේ ක්‍රියාවලියට නව ආලෝකයක් එක් කළ හැකි බවයි. ඇයගේ ප්‍රසිද්ධිය හා බලපෑම මගින් බන්ධනාගාර තුළ ඇති ගැටලු සමාජයට වඩාත් පැහැදිලිව ගෙන ඒමට හැකි බවත් ඔවුන් සඳහන් කරති.
මෙම විශේෂ කමිටුව හරහා බන්ධනාගාර රැඳවියන්ගේ සුභසාධනය, පරිපාලනමය දෝෂ, ආරක්ෂාව, සෞඛ්‍ය හා අනෙකුත් අංශ නිරීක්ෂණය කර අධිකරණ අමාත්‍යවරයා වෙත වාර්තා කිරීමට නියමිත බව දැනගන්නට තිබේ.
මෙම පත්වීම සම්බන්ධයෙන් රජයෙන් හෝ අමාත්‍යංශයෙන් මෙතෙක් වැඩිදුර පැහැදිලි කිරීමක් නිකුත් වී නොමැති අතර, සමාජ මාධ්‍යවල සාකච්ඡාව තවදුරටත් උණුසුම් වෙමින් පවතී.