ඇමති නලින්ද සහ මෙරට කියුබානු තානාපතිවරිය අතර සාකච්ඡාවක්
ලංකාව සහ කියුබානු ජනරජය අතර සෞඛ්‍ය ක්ෂේත්‍රය ඇතුළු ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් පුළුල් කරමින් ශක්තිමත් කිරීම උදෙසා වූ විශේෂ නිල සාකච්ඡාවක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ මෙරට කියුබානු තානාපතිනි පැට්‍රීෂියා ලාසාරා පෙගෝ ගුවේරා මහත්මිය අතර සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශ පරිශ්‍රයේදී පසුගියදා පැවැත්විණි.
මෙම හමුවේදී දෙරට අතර පවතින ඓතිහාසික හා දිගුකාලීන මිත්‍රත්වය සිහිපත් කළ අමාත්‍යවරයා, ශ්‍රී ලංකාව සහ කියුබාව අතර පවතින සමීප සබඳතා නව ප්‍රවේශයන් ඔස්සේ වැඩි දියුණු කිරීමේ සහ අන්‍යෝන්‍ය සහයෝගීතාවයන් ශක්තිමත් කිරීමේ වැදගත්කම මැනවින් පෙන්වා දුන්නේය.
එමෙන්ම මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ දැනට අත්කරගෙන ඇති සාර්ථක පියවරයන් මෙන්ම, ඉදිරියේදී පැමිණීමට නියමිත අභියෝගයන් ජයගැනීම වෙනුවෙන් වත්මන් රජය විසින් සැලසුම් කර ඇති විධිමත් වැඩපිළිවෙළවල් පිළිබඳව ද අමාත්‍යවරයා මෙහිදී කරුණු පැහැදිලි කළේය.
කියුබාව සතු දියුණු මහජන සෞඛ්‍ය පද්ධතිය සහ ඉහළ ජෛව තාක්ෂණික දැනුම ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රය නංවාලීම සඳහා විවිධ අවස්ථාවලදී සුවිශාල උපකාරයක් වී ඇති බව වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙහිදී අගය කර සිටියේය.
සාකච්ඡාවට එක්වෙමින් අදහස් දැක්වූ තානාපතිනි පැට්‍රීෂියා ලාසාරා ගුවේරා මහත්මිය සඳහන් කළේ, කියුබානු රජයේ පූර්ණ ආධාර යටතේ මෙරට සාර්ථකව ක්‍රියාත්මක වූ මදුරු පාලන ව්‍යාපෘති සහ ඩෙංගු රෝගය තුරන් කිරීම සඳහා කියුබානු විශේෂඥ වෛද්‍ය දැනුම ලබාදීම මෙන්ම, දේශීය ඖෂධ හා එන්නත් නිෂ්පාදන කටයුතු තවදුරටත් පුළුල් කිරීමට සහය දෙන බවයි.
මීට අමතරව ශ්‍රී ලාංකික සිසුන්ට කියුබාව තුළ වෛද්‍ය අධ්‍යාපනය හැදෑරීම සඳහා පිරිනමන වෛද්‍ය ශිෂ්‍යත්ව වැනි ක්ෂේත්‍රයන්හි නව ප්‍රවේශයන් පිළිබඳව ද ඇය දීර්ඝව කරුණු පැහැදිලි කළාය.
ලෝක සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දැඩි අවධානයක් දිනාගත්, කොවිඩ්-19 වසංගත සමයේදී කියුබාව විසින් සාර්ථකව නිපදවන ලද 'Abdala' වැනි සුවිශේෂී එන්නත් පිළිබඳව ද මෙහිදී සිහිපත් කෙරුණු අතර, ඒ අනුව ඉදිරි කාලයේදී එන්නත් නිෂ්පාදන ක්ෂේත්‍රයේ ද්විපාර්ශ්වික සහයෝගීතාව වඩාත් වර්ධනය කරගැනීම පිළිබඳව දෙපාර්ශ්වය අතර සුබවාදී එකඟතාවක් ඇති විය.