ලෝකෙම හොල්ලපු Microsoft සමාගමටත් මූල්ය පීඩනය තදින්ම දැනෙයි! සේවකයින්ට අනාගතය තීරණය කරන්න දෙසැම්බර් වෙනකම් කල්
කෘත්රිම බුද්ධි (AI) යටිතල පහසුකම් සංවර්ධනය සඳහා දැරීමට සිදුවන අධික පිරිවැය හමුවේ ප්රාග්ධන කළමනාකරණය වඩාත් කාර්යක්ෂම කිරීමේ අරමුණින්, සේවකයින් විශාල පිරිසකට ස්වේච්ඡාවෙන් සේවයෙන් ඉවත්වීම සඳහා දීමනා ලබාදීමට මයික්රොසොෆ්ට් (Microsoft) සමාගම තීරණය කර තිබේ.
ඒ අනුව, ඇමරිකා එක්සත් ජනපදය, කැනඩාව, ඉන්දියාව සහ එක්සත් රාජධානිය යන රටවල සේවය කරන, සමාගමේ අභ්යන්තර අත්දැකීම් මට්ටම (experience level) 70 හෝ ඊට අඩු සේවකයින් සඳහා මෙම ස්වේච්ඡා සේවා ඉවත්වීමේ දීමනා වැඩසටහන ක්රියාත්මක කිරීමට නියමිතය.
මේ පිළිබඳව දැනුමක් ඇති, නම හෙළි නොකරන ලෙස ඉල්ලා සිටි පුද්ගලයෙකුට අනුව, සේවකයින් 60,000කට පමණ මෙම වැඩසටහන සඳහා සුදුසුකම් හිමිවේ.
එය මයික්රොසොෆ්ට් සමාගමේ සමස්ත සේවක සංඛ්යාව වන 223,000න් සියයට 27කට ආසන්න ප්රමාණයකි.
AI යටිතල පහසුකම් සඳහා ඉහළ යන වියදම් ඇන්ත්රොපික් (Anthropic), ඕපන්ඒඅයි (OpenAI) ඇතුළු සමාගම් රැසකට වලාකුළු පරිගණක සේවා සපයන මයික්රොසොෆ්ට් සමාගම, කෘත්රිම බුද්ධි තාක්ෂණය සඳහා ඉහළ යන ඉල්ලුම සපුරාලීම වෙනුවෙන් දත්ත මධ්යස්ථාන සඳහා සිදුකරන ආයෝජන වේගවත් කර තිබේ.
සමාගම ජූලි මාසයේදී ප්රකාශ කළේ සැප්තැම්බර් මාසයෙන් අවසන් වන කාර්තුවේ ප්රාග්ධන වියදම් ඩොලර් බිලියන 50 ඉක්මවනු ඇතැයි අපේක්ෂා කරන බවයි.
ඊට වසරකට පෙර එම කාර්තුවේදී ප්රාග්ධන වියදම් සහ මූල්ය බදු ගිවිසුම් සඳහා වැය වූ මුදල ඩොලර් බිලියන 34.9ක් විය. මෙලෙස AI යටිතල පහසුකම් සඳහා දැවැන්ත ආයෝජන සිදුකිරීම සමාගමේ මූල්ය කළමනාකරණයට ද බලපෑම් එල්ල කර තිබේ.
ඒ අනුව, අප්රේල් මාසයේදී මයික්රොසොෆ්ට් සමාගම සිය ඉතිහාසයේ පළමු වරට ස්වේච්ඡා විශ්රාම වැඩසටහනක් හඳුන්වා දුන්නේය. ඒ සඳහා එක්සත් ජනපදයේ සේවකයින්ගෙන් සියයට 7කට පමණ සුදුසුකම් හිමිවිය.
අනතුරුව, ජූලි මාසයේදී සේවකයින් 4,800ක් පමණ සේවයෙන් ඉවත් කිරීමට සැලසුම් කර ඇති බව ද සමාගම නිවේදනය කළේය. සේවකයින්ට වෘත්තීය අනාගතය තීරණය කිරීමට අවස්ථාවක් මයික්රොසොෆ්ට් සමාගමේ විධායක උප සභාපතිනිය සහ ප්රධාන මානව සම්පත් නිලධාරිනිය වන ඒමි කෝල්මන් (Amy Coleman), සේවකයින් වෙත යොමු කළ ලිපියක සඳහන් කර ඇත්තේ මෙම වැඩසටහන සමාගම වෙනස්කම්වලට මුහුණ දෙන ආකාරයේ නව ප්රවේශයක් නියෝජනය කරන බවයි.
සේවකයින්ට වැඩි නම්යශීලීභාවයක් ලබාදීම සහ ඔවුන්ගේ වෘත්තීය ජීවිතයේ මීළඟ අදියර තීරණය කිරීම සඳහා වැඩි අවස්ථා සැලසීම එහි අරමුණ බව ඇය පෙන්වා දී තිබේ. මේ අතර, ඇතැම් අලෙවිකරණ, විකුණුම් සහ ඉංජිනේරු කණ්ඩායම්වල සේවකයින් මෙම නව වැඩසටහනට ඇතුළත් නොවන බව ද අදාළ තොරතුරු දන්නා පුද්ගලයා සඳහන් කළේය.
සේවකයින්ට මෙම දීමනාව භාරගන්නේද යන්න දෙසැම්බර් මස මුල වන විට තීරණය කිරීමට සිදුවන අතර, වැඩසටහනට එක්වන සේවකයින් දෙසැම්බර් 31 වනදා සේවයෙන් ඉවත්වීමට නියමිතය.
පෙර වැඩසටහනටත් සේවක ප්රතිචාරයක් මීට පෙර හඳුන්වා දුන් ස්වේච්ඡා විශ්රාම වැඩසටහන සඳහා සුදුසුකම් ලැබූ සේවකයින්ගෙන් සියයට 30කට වැඩි පිරිසක් එයට සහභාගී වූ බව මයික්රොසොෆ්ට් සමාගම ජූලි මාසයේදී ප්රකාශ කළේය.
කෙසේ වෙතත්, පෙර වැඩසටහන ජ්යෙෂ්ඨ අධ්යක්ෂ මට්ටමේ 67 හෝ ඊට අඩු අත්දැකීම් මට්ටම් සහිත සේවකයින්ට සීමා වී තිබිණි. නව වැඩසටහන එම සීමාව පුළුල් කරමින් උප සභාපති මට්ටම දක්වා විහිදෙන බව ඒ පිළිබඳව දැනුවත් පුද්ගලයා පැවසීය.
මෙම නව වැඩසටහන යටතේ සේවයෙන් ඉවත්වන සේවකයින් සංඛ්යාව සම්බන්ධයෙන් සමාගම නිශ්චිත ඉලක්කයක් තබා නොමැති බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
මුදල් ප්රවාහය කෙරෙහිත් අවධානය AI යටිතල පහසුකම් සඳහා දැවැන්ත ආයෝජන සිදුකරන තාක්ෂණික සමාගම් මුහුණ දෙන මූල්ය පීඩනය මෙම තත්ත්වයෙන් තවදුරටත් පැහැදිලි වේ.
දෙවන කාර්තුවේදී වලාකුළු සේවා ක්ෂේත්රයේ තරගකරුවන් වන ඇල්ෆාබෙට් (Alphabet) සහ ඇමේසන් (Amazon) සෘණ නිදහස් මුදල් ප්රවාහයක් වාර්තා කළ අතර, මයික්රොසොෆ්ට් එම කාලය තුළ ඩොලර් බිලියන 19.64ක ධනාත්මක නිදහස් මුදල් ප්රවාහයක් වාර්තා කළේය.
කෙසේ වෙතත්, එය පෙර වසරට සාපේක්ෂව සියයට 23ක පහත වැටීමකි.
මයික්රොසොෆ්ට් සමාගම සිය තෙවන කාර්තුවේ මූල්ය ප්රතිඵල බදාදා ප්රකාශයට පත් කිරීමට නියමිතව තිබූ අතර, එම ප්රතිඵල සමාගමේ AI ආයෝජන, වියදම් පාලනය සහ මුදල් ප්රවාහයේ තත්ත්වය පිළිබඳ වැඩිදුර අවබෝධයක් ලබාදෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.