මත්‍තල ගුවන් තොටුපොළ ගැන නිකුත් කළ නවතම විගණන වාර්ථාව..

By Sithumi Dec 24, 2022 05:52 PM GMT
Sithumi

Sithumi

Report

මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළේ මෙහෙයුම් පිරිවැය රුපියල් බිලියන 02 ඉක්මවා ඇතත් එම පිරිවැය එහි ආදායමට වඩා විසි ගුණයකින් පමණ වැඩි බව විගණකාධිපතිවරයා නිකුත් කළ නවතම වාර්තාවක දැක්වෙනවා. 

 මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළේ 2021 වසරේ මෙහෙයුම් පිරිවැය රුපියල් බිලියන 2.02ක් වන අතර එම ගුවන්තොටුපළේ මෙහෙයුම් ආදායමට වඩා 21 ගුණයකට වඩා ඉහළ හොස් තිබෙන අතර මෙම ගුවන්තොටුපළ ඉදිකිරීම සඳහා වැය කළ අමෙරිකානු ඩොලර් මිලියන 247 කට වැඩි මුදල ඵලදායි ලෙස භාවිත කර නැති බව නිරීක්ෂණය වී ඇති බව එම වාර්ථාවේ දැක්වෙනවා. 

 මත්තල ගුවන්තොටුපළ 2021 වර්ෂයේදී බදු ගෙවීමෙන් පසු ශුද්ධ අලාභය රුපියල් බිලියන 4.44ක් වූ අතර 2017 වසරේ සිට 2021 වසර දක්වා කාලය තුළ බදු ගෙවීමෙන් පසු සමුචිචිත ශුද්ධ අලාභය රුපියල් බිලියන 20.59ක් බව අදාළ වාර්තාවේ සඳහන්.

  එමෙන්ම ගුවන්තොටුපළේ අපේක්ෂිත වාර්ෂික මගී ධාරිතාවය මිලියනයක් පමණ වුවද පසුගිය වසර 5ක කාලය තුළ මගී ධාරිතාව 91,747ක් ලෙස දැක්වෙනවා.  

පසුගිය වසර 5ක කාලය තුළ මත්තල ගුවන්තොටුපළෙන් ක්‍රියාත්මක කර ඇත්තේ ගුවන් ගමන් 2,396 ක් පමණක් බවද වාර්තාවේ සදහන්. මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළ ඉදිකිරීම සඳහා දරන ලද අමෙරිකානු ඩොලර් මිලියන 247.7ක් නැතහොත් රුපියල් මිලියන 36,564ක සමස්ත මුදල ඵලදායි ලෙස භාවිතා නොකළ බවද විගණනයේදී නිරීක්ෂණය වී තිබෙනවා.  

මේ අතර එහි වැඩිදුරටත් දැක්වෙන්නේ ගුවන්තොටුපළ ඉදිකිරීම සඳහා ලබාගත් අමෙරිකානු ඩොලර් මිලියන 190ක ණය මුදල සඳහා පොලිය ඇතුළුව වාර්ෂික ණය වාරිකය ලෙස රුපියල් මිලියන 2,610ක මුදලක් සමාගම විසින් ගෙවා ඇති බවයි. 

  මීට අමතරව රත්මලාන ජාත්‍යන්තර ගුවන්තොටුපළ අඛණ්ඩව අලාභ ලබා ඇති අතර 2017 වසරේ සිට 2021 වසර දක්වා සමුච්චිත අලාභය රුපියල් මිලියන 1,693.66ක් බවත් 2021 වර්ෂය සඳහා වූ අලාභය රුපියල් මිලියන 461.08ක් බවත් වාර්තාවේ සදහන්.

  2020 සහ 2021 වර්ෂවල රත්මලාන ජාත්‍යන්තර ගුවන්තොටුපළෙන් හැසිරවූ යානා ප්‍රමාණය එක් වසරකට 13ක් පමණක් වූ අතර ගුවන්තොටුපළ භාවිත කර ඇති මගීන් ගණන 2020 වසරේ 60ක් සහ 2021 වසරේ 28ක් බව විගණන වාර්තාවේ සඳහන් වනවා.