මුළු කලාවටම ගෞරවයක් ගෙන දෙමින් ජනප්‍රිය රංගන ශිල්පී මහේන්ද්‍ර පෙරේරට විශාල ජයග්‍රහණයක්
මැලේසියානු අන්තර්ජාතික සිනමා උළෙලේදී හොඳම නළුවාට හිමි සම්මානය දිනාගැනීමට ප්‍රවීණ රංගන ශිල්පී මහේන්ද්‍ර පෙරේරා මහතා සමත්ව තිබේ.
ඔහු මෙම සම්මානයෙන් පිදුම් ලැබුවේ 'රිවර්ස්ටන්' (Riverston) චිත්‍රපටය වෙනුවෙන් ඉදිරිපත් කළ විශිෂ්ට රංගනය වෙනුවෙන් වන අතර, මීට පෙර සිංගප්පූරු අන්තර්ජාතික සිනමා උළෙලේදී ද හොඳම රංගනයට හිමි සම්මානය දිනාගත් ඔහු ජාත්‍යන්තරය තුළ සම්මානනීය වූ දෙවන අවස්ථාව මෙය ලෙස සටහන් වේ.
මෙම සම්මාන උළෙලේ හොඳම නළුවා සම්මානය සඳහා 'බ්‍රෝකන් වොයිසස්' චිත්‍රපටය වෙනුවෙන් යුරායි ලෝයි, 'ලකි ලූ' චිත්‍රපටය වෙනුවෙන් චන්ග් චෙන්, 'ද රෙඩ් හැන්ගර්' චිත්‍රපටය වෙනුවෙන් නිකලාස් සරාතේ මෙන්ම 'රිවර්ස්ටන්' චිත්‍රපටය වෙනුවෙන්ම රන්දික ගුණතිලක ද නිර්දේශ වී සිටියහ.
මේ අතර 'රිවර්ස්ටන්' චිත්‍රපටයේ දැක්වූ විශිෂ්ට රංගනය වෙනුවෙන් ප්‍රවීණ රංගන ශිල්පී ප්‍රියන්ත සිරිකුමාර මහතා හොඳම සහාය නළුවාට හිමි සම්මානය දිනාගැනීමට සමත් වීම ද මෙම සිනමා උළෙලේදී ශ්‍රී ලංකාවට හිමිවූ තවත් සුවිශේෂී ජයග්‍රහණයකි.