රටම බලා සිටි 2026 - 2027 මහ කන්නයේ වගා කටයුතු ඇරඹිය යුතු දින කලාප අනුව ප්‍රකාශයට පත් කරයි
කෘෂිකර්ම අමාත්‍යාංශය මඟින් 2026 - 2027 මහ කන්නයේ වගා කටයුතු ඇරඹිය යුතු දින ප්‍රකාශයට පත්කරමින් කාලසටහනක් යෝජනා කර ඇති බව සඳහන්.
ඒ පවතින ජල සම්පත කාර්යක්ෂමව කළමනාකරණය කරගැනීමේ අරමුණින්. ඒ අනුව කලාප අනුව වගා කටයුතු ආරම්භ කිරීමේ දින යෝජනා කර තිබෙනවා.
එහිදී වලව කලාපය ඔක්තෝබර් 01 වැනි දින සහ ඇල්ල ඔක්තෝබර් 15 වැනි දින ඇරඹීමට නියමිතයි.
එමෙන්ම කවුඩුල්ල නොවැම්බර් 01 වැනි දින සහ ඇළහැර නොවැම්බර් 10 වැනි දින ඇරඹීමට නියමිත බව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරයි.
මේ අතර ජල කළමනාකරණ ලේකම් කාර්යාලය පෙන්වා දී ඇත්තේ ඉදිරි දෙසැම්බර් සිට ලබන අප්‍රේල් දක්වා කාලසීමාවේදී ශ්‍රී ලංකාවට අවම වර්ෂාපතනයක් අපේක්ෂා කරන බැවින්, ජලය උපරිමයෙන් කළමනාකරණය කරගැනීමට ඔක්තෝබර් මස මුලදී වී වගා කටයුතු ආරම්භ කිරීම වඩාත් සුදුසු බවයි.
එසේම එල්නිනෝ තත්ත්වයත් සමඟ ඇතිවිය හැකි කාලගුණික වෙනස්වීම් කෘෂිකර්මාන්තයට බලපෑම් කළ හැකි බැවින්, ඒ පිළිබඳ අවධානය යොමු කරමින් ගොවීන් සිය වගා කටයුතු පූර්ව සැලසුම් කිරීමේ වැදගත්කම ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
තවද ඉදිරි මහ කන්නයේ වී වගාව සඳහා අවශ්‍ය තරම් පොහොර පවතින බව ජාතික පොහොර ලේකම් කාර්යාලය දන්වා ඇති අතර, රටට අවශ්‍ය තරම් බීජ වී පවතින බවට ද කෘෂිකර්ම දෙපාර්තමේන්තුව තහවුරු කරයි.
එසේම මෙවර මහ කන්නයේදී හෙක්ටයාර් ලක්ෂ අටක වී වගාවක් සිදුකිරීමට රජය අපේක්ෂා කරයි.
මේ අතර කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා අවධාරණය කර ඇත්තේ තාක්ෂණික නිර්දේශවලට අනුකූලව නිසි වේලාවට වගා කටයුතු ආරම්භ කිරීමේ වැදගත්කමයි.
ඒ අනුව අමාත්‍යවරයා පෙන්වා දී ඇත්තේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හඳුන්වා දී ඇති තාක්ෂණික පැකේජයන් අනුගමනය කිරීමට ගොවීන් දිරිගැන්වීම සහ ඒ සම්බන්ධයෙන් ඔවුන් දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවයි.
2026/27 මහ කන්නයේ වගා කටයුතු සැලසුම් කිරීම සම්බන්ධයෙන් වූ මෙම පූර්ව සාකච්ඡාව අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (08) දින ගොවිජන මන්දිරයේදී පවත්වා තිබුණා.
එයට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, ජල කළමනාකරණ ලේකම් කාර්යාලය, වාරිමාර්ග දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව සහ ජාතික පොහොර ලේකම් කාර්යාලය ඇතුළු ආයතනවල නිලධාරීන් සහභාගී විය.
එසේම කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසා ඇත්තේ මෙය පූර්ව සාකච්ඡාවක් වන අතර, අදාළ යෝජනා සම්බන්ධයෙන් අවසන් තීරණය සැප්තැම්බර් 18 වැනි දින ගන්නෝරුවේදී පැවැත්වෙන අවසන් සාකච්ඡාවේදී ගැනීමට නියමිත බවයි.