ඉන්ධන ගැන නරක ආරංචියක් - රට පුරා දැවැන්ත ඩීසල් අර්බුදයක්
ලංකා අයි.ඕ.සී සමාගම, ආර්.එම්. පාර්ක් සමාගම සහ සිනොපෙක් සමාගම ඩීසල් නිකුත් කිරීම සීමාකිරීම හේතුවෙන් ඩීසල් ලබාගැනීම සඳහා තදබදයක් රට පුරා නිර්මාණය වී ඇති බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පවසන බව වාර්තා වේ.
ඒ අනුව එම සංගමය පෙන්වා දෙන්නේ මේ වන විට ඩීසල් බෙදාහැරීම සිදුවන්නේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධන පිරවුම්හල් 650ක පමණක් බවත් ය.
රජයට අයත් ඉන්ධනහල්වල මිල ගණන් පහළ දැමීමේදී අදාළ සමාගම් ද ඉන්ධන ඊට සමාන වන ලෙස අඩු කරයි.
එහිදී ඔවුන්ට සිදුවන පාඩුව පියවා ගැනීමට රජය විසින් එම මුදල ලබාදීමට සමාගම් සමඟ එකඟ වී ගිවිසුම්ගතව ඇති බව මෙම සමාගම් පවසන බව වාර්තා වේ.
එසේ වුවත් එකඟ වූ පරිදි එම මුදල් පියවීමට රජය කටයුතු නොකිරීම හේතුවෙන් මෙසේ ඉන්ධන සීමා කිරීමට හේතුවූ බවත් අඳාළ සමාගම් සඳහන් කරයි.
ලංකා අයි.ඕ.සී සමාගමට අයත් ඉන්ධන පිරවුම්හල් 250ත් සිනොපෙක් ඉන්ධන පිරවුම්හල් 150ත් සහ ආර්.එම්. පාර්ක් සමාගමට අයත් ඉන්ධන පිරවුම්හල් 100කද ඒ අනුව ඩීසල් බෙදාහැරීම සීමාකර ඇති බව බෙදුම්කරුවෝ පවසන බව වාර්තා වේ.
එසේම ඔවුන් පෙන්වා දෙන්නේ දිගින් දිගටම මෙම සමාගම් විසින් ඩීසල් නිකුත් කිරීම සීමා කළහොත් ඉදිරියේදී ඉන්ධන සම්බන්ධයෙන් ගැටලු රාශියකට මුහුණ දීමට සිදුවන බවයි.
එමෙන්ම මේ අතර ලංකා අයි.ඕ.සී. සමාගම, ආර්.එම්. පාර්ක් සමාගම සහ සිනොපෙක් සමාගමේ සියලුම බෙදුම්කරුවන් වෙත ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය මතු වී ඇති ඉන්ධන තොග සීමාකිරීමට විරෝධය පළකරන බවත් බෙදුම්කරුවන් වෙත පිරවුම්හල් අඛණ්ඩව පවත්වාගෙන හැකි සාධනීය ක්‍රමවේදයක් සකස් කරන ලෙසත් දන්වා ඇති බව සඳහන්.
තවද ලංකා IOC බෙදාහරින්නන්ගේ සංගමයද ලංකා IOC කළමනාකාර අධ්යක්ෂවරයා වෙත ලිපියක් යොමු කරමින් සැප්තැම්බර් 03 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි බෙදාහරින්නන් වෙත ඔටෝ ඩීසල් සැපයීම සීමාකිරීමට ගත් මෑතකාලීන තීරණය හේතුවෙන් ප්‍රවාහන, කාර්මික, නාගරික ඉදිකිරීම් සහ අනෙකුත් අත්‍යවශ්‍ය ආර්ථික කටයුතුවල නිරතවන පාරිභෝගිකයන්ගේ අවශ්‍යතා සපයා ගැනීමට නොහැකි වීමෙන් බෙදාහරින්නන් දැනටමත් දැඩි දුෂ්කරතාවලට මුහුණ දෙමින් සිටින බව දන්වා ඇති බව සඳහන්.
එමෙන්ම අදාළ ලිපියේ පාරිභෝගිකයන් වෙනත් සැපයුම්කරුවන් වෙත යොමු වූ පසු, ඔවුන්ගේ ව්‍යාපාර නැවත දිනා ගැනීම අතිශයින් දුෂ්කර වන අතර, එය LIOC බෙදාහැරීමේ ජාලයට සහ ඔටෝ ඩීසල් අලෙවියට දිගුකාලීන අහිතකර බලපෑමක් ඇති කරනු ඇති බවත් දන්වා ඇති බව සඳහන්.
ඒ හේතුවෙන් මේ සම්බන්ධයෙන් සුදුසු ක්‍රමවේදයක් සකස් කරන ලෙස ලංකා IOC බෙදාහරින්නන්ගේ සංගමය මෙම සමාගමේ කළමනාකාරිත්වයෙන් ඉල්ලා ඇති බව වාර්තා වේ.