පොලිස් පරීක්ෂකවරයකුගේ යතුරු පැදියේ හැපී ලොතරැයි අලෙවිකරුවෙකු මරුට
දෙහිඕවිට පොලීසිය පවසන්නේ, අධිකරණ කටයුත්තකට ගොස් නැවත එමින් සිටි පොලිස් පරීක්ෂකවරයකුගේ යතුරු පැදියට ගැටී ලොතරැයි අලෙවිකරුවෙකු මියගොස් ඇති බවයි.
අනතුර ඊයේ (08) දෙහිඕවිට නගරයේ සිදු වූ අතර, මියගොස් ඇත්තේ ආරාධනාවත්ත, තිඹිරිපොල, දෙහිඕවිට පිහිටි ලොතරැයි අලෙවිකරු පී. රංජිත් පතිරණ (වයස 60) මහතායි.
හැටන් පොලිස් ස්ථානයට අනුයුක්ත රාජකාරි කරන පොලිස් නිලධාරියා ගාල්ල අධිකරණයේ පැවැති නඩු කටයුත්තකට සහභාගිවී සිය පෞද්ගලික යතුරුපැදියෙන් නැවත යමින් සිටියදී පදිකයා සමඟ ගැටී මෙම අනතුර සිදු වූ බව පොලීසිය සඳහන් කරයි.
අනතුරෙන් තුවාල ලැබූ ලොතරැයි අලෙවිකරු රෝහලට ඇතුළත් වූ විට මියගොස් ඇති අතර, තුවාල ලැබූ පොලිස් පරීක්ෂකවරයාද මේ වන විට රෝහල්ගත කර තිබේ. දෙහිඕවිට පොලීසිය මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරමින් පවතියි.