මාලිමා අපේක්‍ෂකගේ තවත් වැරැද්දක් අහුවෙයි - හදිසි වැටලීමක්
බේරුවල මහජන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ නිලධාරීන් විසින් බේරුවල ප්‍රාදේශීය සභාව සඳහා ජාතික ජන බලවේගයෙන් තරග වැදුණු අපේක්ෂකයෙකුට අයත් බව කියන අවන්හලක තිබී, මිනිස් පරිභෝජනයට නුසුදුසු සහ ලේබල් රහිත ආහාර තොගයක් අත්අඩංගුවට ගැනීමට සමත්ව ඇත.
ඒ අනුව මහජනතාවගෙන් ලද රහසිගත තොරතුරකට අනුව ක්‍රියාත්මක වූ සෞඛ්‍ය නිලධාරීන් කණ්ඩායම මෙම හදිසි වැටලීම සිදු කර තිබෙනවා.
එමෙන්ම පරීක්ෂාවට ලක් කළ අවන්හලේ තිබී අත්අඩංගුවට ගත් ආහාර ද්‍රව්‍ය අතර මස්, අයිස්ක්‍රීම්, කොත්තු සහ බැදපු ඉස්සන් වැනි දෑ අක්‍රමවත් ආකාරයට සහ සෞඛ්‍යාරක්ෂිත නොවන ලෙසට ශීතකරණ තුළ ගබඩා කර තිබූ බව සඳහන්.
මෙහිදී විශේෂයෙන්ම පිසූ ආහාර සහ අමු මස් වර්ග එකම ස්ථානයක බහා තිබීම වැනි බරපතළ සෞඛ්‍ය අවදානම් තත්ත්ව ද නිරීක්ෂණය වී ඇති බව වාර්තා වේ.
කෙසේ වෙතත් සිද්ධිය සම්බන්ධයෙන් අප කළ විමසීමකදී බේරුවල මහජන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ඒ. කුසුම්සිරි මහතා කියා සිටියේ එම ව්‍යාපාරික ස්ථානයේ හිමිකාරීත්වය කාහට අයත් වූවත් මහජන සෞඛ්‍යය අනතුරේ හෙළන ඕනෑම අයෙකුට එරෙහිව තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන බවයි.
එමෙන්ම ජනතාවගේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට මෙවැනි වැටලීම් ඉදිරියටත් සිදු කරන බවද ඔහු වැඩිදුරටත් පැවසුවා.
ඒ අනුව අත්අඩංගුවට ගත් අහිතකර ආහාර ද්‍රව්‍ය පිළිබඳ වාර්තාවක් සමඟ සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට සෞඛ්‍ය බලධාරීන් පියවර ගෙන ඇති බව වාර්තා විය.