ට්‍රම්ප් බැහැ කිව්වොත් නහයෙන් අඬාගෙන යන්නේ නැහැලු - විකල්ප තියන බවට අපනයන සභාපති කියයි
ඇමරිකානු වෙළෙඳපොළේ තීරු බදු ඉහළ දැමීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ අපනයන ආදායමට ඇතිවන පාඩුව, ආසියානු, අප්‍රිකානු, මැදපෙරදිග සහ යුරෝපා සංගමයේ වෙළෙඳපොළවල් හරහා පියවා ගැනීමට සැලසුම් කර ඇති බව අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ පවසයි.
ආසියානු කලාපය, අප්‍රිකානු රටවල්, සහ මැදපෙරදිග රටවල ශ්‍රී ලංකා භාණ්ඩවලට ඉහළ ඉල්ලුමක් ඇති බව ඔහු සඳහන් කළේය.
ඒ අනුව, මෙම රටවල් සමඟ නිදහස් වෙළෙඳ ගිවිසුම්වලට එළඹීම සඳහා යෝජනා රජයට ඉදිරිපත් කළ බව සභාපතිවරයා පැවසීය. එම ගිවිසුම්වලදී තීරු බදු සම්බන්ධ ගිවිසුම් කිහිපයකට එළඹීමට යෝජනා කළ බවද ඔහු කීවේය.
ඒ සම්බන්ධයෙන් හඳුනාගත් රටවල් සමඟ 2025 අප්‍රේල් සහ මැයි මාසවලදී ගිවිසුම්වලට එළඹීමට සැලසුම් කර ඇති අතර, පවතින ගැටලුවලට විසඳුම් සෙවීමට පියවර ගනිමින් සිටින බව ඔහු පැවසීය.
එසේම, යුරෝපා සංගමයේ රටවල් ඉලක්ක කරගනිමින්, විවිධ නිෂ්පාදනවල ඉල්ලුම උපයෝගී කර ගනිමින් තීරු බදු ගිවිසුම් සඳහා යෝජනා ඉදිරිපත් කළ බව ඔහු සඳහන් කළේය.
ඇමරිකානු තීරු බදු ගැටලුව හමුවේ ලෝක වෙළෙඳපොළ නව දිශාවකට යොමු වන බවත්, ශ්‍රී ලංකාවට මෙතෙක් නොලැබුණු වාසි අත්පත් කර ගැනීමට අවස්ථාව උදා වන බවත් ඔහු පැවසීය.
වැඩිදුරටත් අදහස් දක්වමින් මංගල විජේසිංහ මහතා මෙසේ පැවසීය;
“එක්සත් රාජධානියේ වෙළෙඳපොළ ඩොලර් බිලියන 977ක වෙළෙඳපොළකි. නමුත් අපි එහි අපනයන කරන්නේ බිලියන එකකටත් අඩු ප්‍රමාණයකි. අපි නව වෙළෙඳපොළ අවස්ථා සොයා ගත යුතුයි. කාබනික ආහාර අපනයනයෙන් දැනට ලැබෙන්නේ ඩොලර් මිලියන 500ක ආදායමක් පමණයි. එහෙත් මෙම වෙළෙඳපොළ ලෝකයේ ඩොලර් බිලියන 140ක වටිනාකමකින් යුක්තයි. අපට කුඹුරු, ඉඩම්, ශ්‍රමය තිබෙනවා. කාබනික ආහාර අපනයනයෙන් සැලකිය යුතු ආදායමක් උපයා ගත හැකියි. ජාතියක් ලෙස මෙම අභියෝගය හමුවේ නව මඟකට යා යුතුයි.”
