කඳුකරයේ නායයෑම් අවදානම තවදුරටත් ඉහළයි - වැස්සොත් යළි යට වෙයි

Report

දිට්වා කුණාටුවත් සමඟ ඇදහැලුණු අධික වර්ෂාව නිසා කඳුකර ප්‍රදේශවල පොළොවේ පහළ තට්ටු දැනටමත් ජලයෙන් සන්තෘප්ත වී තිබෙන බැවින්, බොහෝ ස්ථානවල පොළොව ඉරිතැලීම් දැකගත හැකි බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය අවධාරණය කරයි.

“ඉදිරි දින කිහිපයේ තද වැසි ඇදහැලුණහොත් නැවතත් දැවැන්ත නායයෑම් අවදානමක් හටගැනීමේ ඉඩකඩ ඉතා ඉහළයි. එබැවින් කඳුකරයේ අවදානම් කලාපවල ජීවත් වන ජනතාව දැඩි විමසිල්ලෙන් පසුවන ලෙස ඉල්ලා සිටිනවා”

යයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නිලධාරීහු මහජන දැනුම්වත් කිරීමේ නිවේදනයකින් පවසති.

මේ අතර, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (02) පස්වරු 3ට නිකුත් කළ නවතම නිවේදනයේ දැක්වෙන්නේ, ඉදිරි දිනවල ඊසානදිග මෝසම් සුළඟ ක්‍රමයෙන් ස්ථාපිත වීමත් සමඟ දෙසැම්බර් 04 වැනිදා සිට උතුරු, උතුරු මැද, නැගෙනහිර, ඌව හා මධ්‍යම පළාත්වල වැසි තත්ත්වයේ පැහැදිලි වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බවයි.

එබැවින් කඳුකරයේ පදිංචිකරුවන් ඇතැම් විට රාත්‍රියේ හෝ උදෑසන කාලයේදී පවා නායයෑම් සංඥා (පොළොව ඉරිතැලීම්, උල්පත්වලින් මඩ ජලය ගලා ඒම, ගස් බෑවුම් වැනි) දැකගතහොත් කිසිදු ප්‍රමාදයකින් තොරව ආරක්ෂිත ස්ථාන කරා ඉවත් වන ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දැඩි ලෙස උපදෙස් දෙයි.