NBROට හරි උපදෙස් දෙන්න තේරුමක් නැහැ.. පිටරටින් කණ්ඩායමක් ගේනවා..- ලාල් කාත්න
ආපදා තත්ත්වයෙන් පසු සාමාන්‍ය ජන ජීවිතය යළි ස්ථාපිත කිරීමටත්, විශේෂයෙන් පාසල් නැවත විවෘත කිරීමටත් ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානයෙන් (NBRO) ලැබෙන නිර්දේශ “ප්‍රමාණවත් නොවන” සහ “අතිශයින් පුළුල්” බවත්, එබැවින් ඒවා මත ක්‍රියාත්මක වුණහොත් “ජනතාව පාසල් වෙත ගෙන ඒමට වඩා පාසල් ජනතාව වෙත ගෙන යාමට” සිදුවන බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා ඊයේ (11) මහනුවරදී මාධ්‍යයට පැවසීය.
“NBRO කණ්ඩායම් අටක් පමණ තිබුණත් ඒවා ප්‍රමාණවත් නැහැ. ඔවුන් දෙන නිර්දේශ මත ගියොත් මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස විස්සම වෙන තැනකට ගෙනියන්න වෙනවා. එහෙම නම් රටේ ජීවිතය කොහොමද යළි පටන් ගන්නේ?”
යනුවෙන් අමාත්‍යවරයා ප්‍රශ්න කළේය.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ කණ්ඩායම් අටක් නිරීක්ෂණ කටයුතුවල නිරත වුව ද එය ප්‍රමාණවත් නොවන බැවින්, මෙම අභියෝගාත්මක තත්ත්වයට සාර්ථකව මුහුණ දීම සඳහා ජාත්‍යන්තර සහාය අපේක්ෂා කරන බව ද ලාල්කාන්ත මහතා පැවසීය. ආපදාවෙන් පීඩාවට පත් ජනතාව යළි පදිංචි කිරීමට සුදුසු ස්ථාන තීරණය කිරීම, ආරක්ෂක මධ්‍යස්ථානවල රැඳී සිටින ජනතාව පිළිබඳව ගන්නා තීරණ මෙන්ම පාසල් නැවත විවෘත කිරීම සම්බන්ධයෙන් නිශ්චිත තීරණ ගැනීම සඳහා ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයෙන් නිවැරදි හා ප්‍රායෝගික නිර්දේශ ලැබෙන තුරු බලා සිටීමට සිදු වීමෙන් යථා තත්ත්වයට පත් කිරීමේ වැඩසටහන් ප්‍රමාද වී ඇති බව ද අමාත්‍යවරයා අවධාරණය කළේය.
ඔහු තවදුරටත් කියා සිටියේ, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ වත්මන් නිර්දේශ අනුගමනය කරන්නේ නම්, මහනුවර දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස විස්සම වෙනත් ප්‍රදේශයකට ගෙන යාමට සිදුවන බවකි. එබැවින් නාය යාමේ අවදානම සහිත නිශ්චිත ස්ථාන සිතියම්ගත කොට නම් කර ඉදිරිපත් කිරීම ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ මූලික වගකීමක් බව ද අමාත්‍ය ලාල්කාන්ත මහතා අවධාරණය කළේය.