කුරුණෑගලට ටොනාඩෝ සුළිකුණාටුවක් - පැත්තම ඉවරයි
ආපදා කලමනාකරණ දෙපාර්තමේන්තුවේ කුරුණෑගල දිස්ත්‍රික් නියෝජ්‍ය අධ්‍යක්ෂ විරාජ් දිසානායක මහතා පවසන්නේ මෑත කාලයේ පවතින කාලගුණ වෙනස්විම් සමඟ කුරුණෑගල දිස්ත්‍රික්කයට එල්ල වන ටොනාඩෝ සුළං තත්ත්වයන් වැඩිවීමේ අවදානමක් පවතින බවයි.
ඔහු වැඩිදුරටත් සදහන් කළේ රට තුළ මේ දිනවල පවතින අහිතකර කාලගුණ වාතාවරණයත් සමඟ මේවනවිට දින කීපයක් තුළ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කීපයකටම ටොනාඩෝ සුළං ඇතිවි දේපළ හානි සිදුව ඇති බවයි.
එමෙන්ම ඊයේ (24) දිනයේ කොබෙයිගනේ ප්‍රදේශයටද, ඊට පෙර දිනවල වාරියපොලට දෙවරක්ද , නාරම්මලට සහ නිකවැරටිය ප්‍රදේශවලටද මෙම ටොනාඩෝ බලපෑම එල්ල වී තිබූ බවත් වාරියපොළ නිවාස 93කට නිකවැරටිය නිවාස 16කට සහ කොබෙයිගනේ නිවාස 7 කටද හානි හා අර්ධ හානි සිදුව ඇති බවත් ආපදා කලමනාකරණ දෙපාර්තමේන්තුවේ කුරුණෑගල දිස්ත්‍රික් නියෝජ්‍ය අධ්‍යක්ෂ විරාජ් දිසානායක මහතා පැවසුවේය.
මෙම ටෙනාඩෝවලින් ජීවිත හානි වාර්තා වී නොතිබුණද සිකුරාදා එල්ල වූ ටොනාඩෝවෙන් කොබෙයිගනේ පෙර පාසැලක ගොඩනැගිලිවලට හානි සිදුව එහි සේවය කරන පෙර පාසැල් පාලිකාවකට සුළු තුවාල සිදුව කුඩා දරුවන් බේරී ඇත.
එමෙන්ම මීට පෙර 2019 සහ 2021 වසර වලදී කුරුණෑගල සහ මාස්පොත ප්‍රදේශවලට දරුණු ටොනාඩෝ තත්ත්වයක් ඇතිවි විශාල දේපළ හානියක් සිදුවූ බවද ඉන් අනතුරුව මෙවරද එවැනිම තත්ත්වයක් ඇති වීම තුළින් යම් ආකාරයකට කුරුණෑගල දිස්ත්‍රික්කයට ටොනාඩෝ සුළං තත්ත්වයන් ඇති වීමේ සම්භාවිතාවක් පවතින බවද ආපදා නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා පැවසුවේය.