මාළිගාවත්තේ වෙඩිතැබීමේ තවත් තොරතුරු එළියට - ගේම ගහලා තියෙන්නේ රට ඉදන්

Report

කොටහේන පොලිස් වසමේ ශ්‍රී සංඝරාජ මාවතේ අද (10) දහවල් සිදුවූ වෙඩි තැබීම, දැනට ප්‍රංශයේ සැඟව සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන “කුඩු අංජු” නමැත්තා විසින් විදේශයක සිට මෙහෙයවා ඇති බවට පොලීසිය සැක පළ කරයි.

මෙම වෙඩි ප්‍රහාරයෙන් 54 හැවිරිදි මොහොමඩ් අස්මින් මොහිදීන් නමැති පුද්ගලයා බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබේ.

මාළිගාවත්තේ වෙඩි තැබීමකින් කංජිපානිගේ බාප්පාට දිවි අහිමිවෙයි

මාළිගාවත්තේ වෙඩි තැබීමකින් කංජිපානිගේ බාප්පාට දිවි අහිමිවෙයි

කොළඹ 10, ශ්‍රී සංඝරාජ මාවතේ පිහිටි ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවිසැලක හිමිකරුවෙකු ඉලක්ක කර ගනිමින් අද දහවල් 1.20 ට පමණ මෙම ප්‍රහාරය එල්ල වී ඇත.

යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් වෙඩි තැබීම සිදුකර වහාම පලාගොස් ඇති බව පොලීසිය සඳහන් කරයි. පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මියගිය පුද්ගලයා ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවෙකු වන “කංජිපානි ඉම්රාන්” නමැත්තාගේ සමීපතම ඥාතියෙකු බවයි.

පසුගියදා රත්මලාන ප්‍රදේශයේදී “කුඩු අංජු” නමැත්තාගේ සමීපතමයෙකු ඝාතනය කිරීමේ සිද්ධියට ප්‍රතිචාරයක් සහ පළිගැනීමක් ලෙස මෙම ඝාතනය සිදු කරන්නට ඇති බවට පොලීසිය වැඩිදුරටත් සැක පළ කරයි. වෙඩි තැබීම සිදුකර පලායන ආකාරය යාබද ගොඩනැගිල්ලක සවිකර තිබූ CCTV කැමරාවක ද සටහන් වී තිබේ.

මාළිගාවත්ත වෙඩි තැබීමේ CCTV බිහිසුණු දර්ශන එළියට

මාළිගාවත්ත වෙඩි තැබීමේ CCTV බිහිසුණු දර්ශන එළියට

සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත සොයිසා මහතාගේ ප්‍රධානත්වයෙන් සහ කොළඹ මධ්‍යම කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මහේෂ් කුමාරසිංහ මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් මඟින් වැඩිදුර විමර්ශන සක්‍රීයව ක්‍රියාත්මක කෙරේ.